தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
ආණ්ඩුව ජනතාවට එරෙහි යුද්ධයකට සූදානම් - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුව ජනතාවට එරෙහි යුද්ධයකට සූදානම් – පුබුදු ජයගොඩ



වත්මන් ආණ්ඩුව විසින් ජනතාවගේ බදු මුදලින්ම රුපියල් බිලියන 392.9ක් ආරක්ෂක වියදම් වෙන්කරවා ජනතාවට එරෙහි යුද්ධයක් ප්‍රකාශයට පත්කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

ආණ්ඩුව විසින් 2019 අයවැය මුල් කරගෙන පෙබරවාරි 5 වැනිදා ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස් ඉදිරිපත් කරමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙම අදහස් පළ කළේය.

ඔහු දැක්වූ අදහස් සාරාංශයක් මෙසේ සටහන් කරමු.

“2019 රාජ්‍ය අයවැය සම්බන්ධයෙන් මූලික පදනමක් ලබාගත හැකි විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙම පනත ඉදිරිපත්කරලා සතියකට අධික කාලයක් ගෙවී තිබුණත් පාර්ලිමේන්තුව නියෝජනය කරන නිල විපක්ෂය ඒ ගැන කිසිම දෙයක් ප්‍රකාශ නොකර බලා ගෙන ඉන්නවා.

ඉදිරිපත් කළ විසර්ජන කෙටුම්පතට අනුව 2019 වර්ෂය සදහා රාජ්‍ය වියදම රු. බිලියන 4550ක් බව දක්වනවා. 2018 දි රු.බි.3992ක් වූ රාජ්‍ය වියදම බිලියන 568කින් ඉහළ දමා තිබෙනවා. මේ අනුව පසුගිය වසරට වඩා එම බිලියන 568 උපයාගන්න රජය කටයුතු කළ යුතු බව පැහැදිලියි. අයවැය පරතරය පසුගිය වසරේ බිලියන 1803 මට්ටමෙන් පවත්වාගෙන යනවා කියන උපකල්පනය කළත් මේ අවුරුද්දට රාජ්‍ය ආදායම 26.3%කින් ඉහළ නංවා ගත යුතුයි. 2016 ජූනි 4 වැනිදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබා ගනිද්දි ශ්‍රි ලංකා මහ බැංකුවෙන් නිකුත් කළ නිවේදනයෙන් දක්වන ආකාරයට 2020 වනවිට අයවැය හිගය දළ ජාතික නිෂ්පාදිතයෙන් 3.5%ක් දක්වා අඩු කළ යුතුව තිබෙනවා. එවැනි අඩු කිරීමක් කරන්න නම් අය වැය පරතරය මේ වසරෙදිත් අඩු කළ යුතුව තිබෙනවා.

පහුගිය අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ මුලදි විසර්ජන පනත් කෙටුම්තක් ඉදිරිපත් කළා. 26 වැනිදා දේශපාලන කුමන්ත්‍රණය නිසා එය අවලංගු වුණා. එ් විසර්ජන පනත් කෙටුම්පත අනුවත් අයවැය හිගය රු.බි. 644ක් දක්වා අඩුකරන්න ඇස්තමේන්තුකර තිබුණා. ඒක නොකර පැවති මටටමටම හිගය තිබුණත් දළ වශයෙන් රාජ්‍ය ආදායම 26.3%කින් වැඩිකරගත යුතු වෙනවා. ඒ ආදායම උපදවන්න ආණ්ඩුව ඇත්තටම කරන්නෙ මොකක්ද කියලා අපට මාර්තු 5 වැනිදා ඉදිරිපත් කරන අයවැය කතාවෙන් දැනගන්න පුලුවන්. ආණ්ඩුවට රාජ්‍ය ආදායම ඉහළ නංවන්න තියෙන්නෙ ක්‍රම තුනක්. එකක් ණය ගන්න එක. දෙවැනි ක්‍රමය රාජ්‍ය දේපළ විකිණීම. තැන්වැනි ආකාරය ජනතාව මත බදු බර පැටවීමයි. මේ නිසා ජනතාව වෙත අධික බදුබර පැටවෙන අයවැයක් වෙන්න ඉඩ වැඩියි, මැතිවරණ වර්ෂයක් නිසා ව්‍යාජ සහන ප්‍රමාණයක් දෙන්න ආණ්ඩුව කටයුතු කළත් අයවැය හිගය පියවා ගන්න සිදුවන එක වැළැක්විය නොහැකියි. එහෙම නම් නැවත නැවතත් ණය ගැනීමෙන් හා රාජ්‍ය ආයතන විකිණීමෙන් ආදායම වැඩිකරගන්න සිදුවන බව දැනට කිව හැකියි. රාජ්‍ය බැංකු ඇතුළු ආයතන, ශ්‍රිලන්කන් ආයතනය වැනි ඉතිරි සොච්චමත් විකුනා දමන්න නියමිත බව පැහැදිලියි. මේ සම්බන්ධ ඇත්ත තත්වය මාර්තු 5 වැනිදා දැනගන්න ලැබෙනවා. දැනට විසර්ජන කෙටුම්පත අනුව, කියමනක් තියෙනවනෙ ‘හානා හීය හානා අඩහැරෙන් දැනේ‘ කියලා. අඩහැරය පාලා තියෙනවා, අපට පුලුවන් ඒ ගැන කතා කරන්න. අයවැය හීය හාන්නෙ කොහොමද, හෑවෙන්නෙ කොයි පොළොවද කියලා දැනගන්න පුලුවන්. ඒනිසා විසර්ජන පනත් කෙටුම්පත තුළින්ම 2019 අයවැය සම්බන්ධ අනෙක් ගැටලු මොනවද කියන කාරණයට අවධානය යොමු කළ යුතුයි.

ප්‍රධාන වශයෙන් මේ සැරේ අමාත්‍යංශ වෙනුවෙන් මුදල් වෙන්කරන ආකාරය තුළම බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. ඇස්තමේන්තු කළ රාජ්‍ය වියදමෙන් රු.බි. 2232ක්ම වෙන්කර තිබෙන්නෙ ණය සහ ණයපොලී ගෙවීම සදහා. ඒ නිසා වියදමෙන් බාගයක්ම ණය පියවන්න, තවත් බිලියන 2300ක් තමයි ඇත්තටම ආර්ථිකයෙ වියදම ලෙස ඉතිරි වෙන්නෙ. ඒ බිලියන 2300නුත් වැඩිම වියදම ආරක්ෂක අමාත්‍යංශයට බිලියන 392.9ක් වෙන්කර තිබෙනවා. 2018 ආරක්ෂක අමාත්‍යංශයට වෙන්කළේ බිලියන 290.7ක්. දළ වශයෙන් රුපියල් බිලියන 100කින් වැඩිකරලා තිබෙනවා ආරක්ෂක අමාත්‍යංශයේ වියදම.

මේ ආකාරයට ආරක්ෂක වියදම වැඩිකර තිබෙන්නෙ යුද්ධයක් නැතිව. යුද්ධය තියෙන කාලෙ ආරක්ෂක වියදම වැඩියි කියලා ඒ නිසා තමයි අධ්‍යාපනයට, සෞඛ්‍ය සේවයට, පොදු ප්‍රවාහනයට වියදම් කරන්න බෑ කියලා කිව්වා. යුද්දෙ අවසාන වුණ 2009දිත් රු. බිලි. 286ක් වියදම් කළේ. ඊටත් වඩා බිලියන 125ක් වැඩියෙන් වියදම් කර ඇත්තේ ආණ්ඩුවෙන් යුද්ධයක් කැදවා තිබෙන නිසා. මොකක්ද යුද්දෙ? 2009 යුද්දෙ අවසාන කළ බව කියනවා නම් මේ ආරක්ෂක වියදම් වැඩිකරලා යුද්ධ කරන්නෙ කවුරු එක්කද? නිශ්චිත වශයෙන්ම මේ ආණ්ඩුව යුද්ධ කරන්න යන්නෙ නතාවගේ නැගී සිටීමට එරෙහිව බව අපි කියනවා. මේ රටේ කම්කරු ව්‍යාපාරයට එරෙහිව, ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව, ගොවි ජනයාට එරෙහිව, පරිසරය ආරක්ෂා කරන්න එක්වන ජනයාට එරෙහිව, රැකියා විරහිතයන්ට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සහ මානව හිමිකම් උල්ලංඝනයට එරෙහිව ජනතාව නැගී සිටින විට ඔවුන් සමග කරන යුද්ධයක් වෙනුවෙන් මේ යුද්ධය කැදවා තිබෙනවා. ජනතාවට එරෙහිව යුද්ධයක් කැදවා ඇති ආණ්ඩුව ඒ ජනතාවගේ ජීවිතය වෙනුවෙන් මුදල් වෙන්කර ඇති ආකාරය බලමු. අධ්‍යාපනය වෙනුවෙන් රු.බි. 105යි. පසුගිය වර්ෂයේ ඒක 102.8ක් ඒ කියන්නෙ 2.14%කින් වැඩි කරලා. නමුත් ඩොලරයට සාපේක්ෂව සිදුවන රුපියලේ ඇදවැටීම නිසා මේ ගණන ඇත්තටම වැඩි කළ මුදලක් ලෙස සළකන්නවත් බෑ. 2018 ජනවාරි 1 වැනිදා ‍ඩොලරයේ අගය රු 150.23යි. විසර්ජන පනත ඉදිරිපත් කළ පෙබරවාරි 5 වැනිදා වනවිට ඩොලරය රු. 179ක්. වෙුණු වර්ෂයේ රුපියල 18.79කින් ඇද වැටිලා තියෙද්දි අධ්‍යාපනයට වියදම වැඩි කරලා තියෙන්නෙ 2.14කින් පමණයි. ඒ කියන්නෙ ඇත්ත වශයෙන්ම අධ්‍යාපනයට වෙන්කළ මුදල වැඩිකරලා නෙවෙයි 16.5% කපලා. සෞඛ්‍ය සේවයට 2018 වර්ෂයේ වෙන්කළ මුදල රු.බි. 178.4ක්. 2019 වර්ෂයට රු. බි. 187.4ක් ඒ කියන්නෙ 5.50%කින් වැඩිකරලා කියන්න පුලුවන්, නමුත් රුපියල 18.79%කින් අවප්‍රමාණ වෙලා තියෙද්දි ඇත්තටම වෙලා තියෙන්නෙ 13%කින් කපලා.

මේ ආකාරයට සියලු ක්ෂේත්‍රවල වියදම් සදහා වෙන්කළ මුදල් ඇත්තටම අඩු කරලා තියෙන්නෙ. ප්‍රවාහන ක්ෂේත්‍රෙය් දුම්රිය සේවයට බිලියන 15ක් තිබුණු එක බිලියන 16ක් වෙන්කර තිබෙන්නෙ. ඒ කියන්නෙ ඔවුන්ගෙ ක්ෂෙත්‍රෙවලට ලොකු පොල්කටු හැන්දකින් බෙදලා ජනතාවගේ අවශ්‍යතාසදහා කන් හැන්දකින් බෙදලා වගේ. දැන් ජාතිකවාදින්ට නම් සතුටු වෙන්න පුලුවන් වන්නියට ගහන්න ආරක්ෂක වියදම් වැඩි කරලා කියලා. නමුත් ඇත්තටම මෙ යුද්ධය වන්නියට, උතුරට, නැගෙනහිරට, බස්නාහිරට හා දකුණට ඇතුළු සමස්ත රටේම ජනතාවට එරෙහිවයි.

මේ ආරක්ෂක වැයශීර්ෂය යුද්ධය පැවති කාලයටත් වඩා වැඩිකර තියෙන්නෙ මේ රටේ සටන්කරන අයිතිවාසිකම් ඉල්ලා සිටින ජනතාවට පහර දෙන්න බව දැනුවත් තේරුම් ගත යුතුයි. දැන් බලන්න අධ්‍යාපනයථ සෞඛ්‍ය, ප්‍රවාහනය වැනි ක්ෂේත්‍ර තුනටම වෙන්කර ඇති බිලියන 359 මුදලට වඩා වැඩියි, ආරක්ෂක හමුදාවලට වෙන්කරන මුදල, බිලියන 366ක්. ලක්ෂ 50ක් වූ දරුවන්ගෙ අධ්‍යාපනයට, මිලියන 23ක් වූ ජනයාගේ සෞඛ්‍ය හා පොදු ප්‍රවාහනය වෙනුවෙන් වෙන්කළ වියදමට වඩා වැඩි මුදලක් ආණ්ඩුවෙන් වෙන්කරලා තියෙනවා ඒ ජනතාවට පහර දෙන්න.

දැන් පැහැදිලියි මේ රටේ ජනතාවගේ බදු මුදලින් ආණ්ඩුව ආදායම් එකතු කරලා ඒ බදු මුදලින් අපටම ගහන්න සූදානම් වෙනවා. මේක තමයි අර සමහරු කියන්නෙ අපෙ අරක්කු අපටම ගහනවා කියලා. ආණ්ඩුව දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියලා එක වෙලාවක සටන්පාඨ ගේනවා, තව වෙලාවක කුඩු අල්ලනවා කියනවා, තව වෙලාවක කලු මාධය කියනවා. මේ විදියට සටන්පාඨවලට එහා ගිය ඇත්ත තත්වය අපි හදුනාගත යුතුයි. ජනාධිපතිවරයා කෙහෙල් කොලේ ගෙදරනි ගේන බත්කනවා කිව්වා, බොල්පොයින්ට් පෑනෙන් අත්සන් කරනවා කිව්වා, හැබැයි ජනාධිපතිගෙ වියදම 2015 බිලියන 2.3යි, 2016 බිලියන 2.3 2017 බිලියන 6.45යි, 2018 බිලියන 9.9යි. 2019 මේ අවුරුද්දට බිලියන 14ක් වෙන්කරගෙන. ජනාධිපතිගෙ වියදම් 7 ගුණයකින වැඩිකරලා. දැන් අර අල්පේච්ඡකම ගැන මොකද කියන්නෙ? අගමැති 2016දි වියදම් සදහා වෙන් කලේ බිලියන 0.4ක්. එයත් කිව්වෙ මම ගෙදරින් ගෙනත් වියදම් කරන්නෙ කියලා. 2017 ඒක බිලියන 1.25ක් කළා. 2018දි බිලියන 1.8යි, දැන් මේ අවුරුද්දට බිලියන 2ක් වෙන්කරලා. ඒ නිසා හැන්ද අතේ තියන අය තමන්ට බෙදා ගන්නවා. ජනාධිපතිගෙ අමාත්‍යංශයට රු.බිලියන 43ක් වෙන්කරලා, අගමැතිගෙ අමාත්‍යංශයට බිලියන 90ක්. තම තමන්ට හොදට මුදල් වෙන්කරගෙන ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය සදහා සොච්චමක් වෙන්කරලා. අයවැය ආවම මේ ගැන ඇත්ත තොරතුරු දැනගන්න පුලුවන්.

ඉග්නාට්සියො සිලෝනෙ කියන ලේඛකයා ලියලා තියෙනවා ආණ්ඩුවට දිග අතකුයි කොට අතකුයි තියෙනවා, දිග අත ඈතක හිටියත් පොකට් එකෙන් ගන්න. කොට අත ළගින්ම ඉන්න අයට දෙන්න. ආණ්ඩුව තමන්ගෙ අයට බෙදා ගන්නවා දිග අතෙන් ඕනම තැනක ඉන්න අයගෙන් බදු මුදල් අයකරගන්නවා.

මේ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙ මේ ආකාරයට ජනතාවගේ මුදල් කොල්ලකාගෙන තමන්ගෙ උවමනාවන්ට කැමති කැමති ආකාරයට මුදල් වෙන්කර ගන්න, ජනතාවට පහර දෙන්න විශාල වියදමක් දරණ, ජනතාවට එරෙහි යුද්ධයක් ප්‍රකාශ කර ඇති ආණ්ඩුවට විකල්ප ලෙස ජනතා බලයක් ගොඩනගන්න ඒකරාශි වෙන්න, මේ විදියටමයි මීට පෙර ආණ්ඩුවල නායකයන් තමන්ට බෙදාගෙන ජනතාවට ගහන්න මර්දනයට වියදම් කළේ. ඒ නිසා ජනතාවගේ බලයක් ගොඩ නැගීමටත් මේ මර්දනකාරී, කොල්ලකාරී පාලනයෙන් නිදහස්වීමට ඒකරාශි වෙන්න කියන යෝජනාව අපි ජනතාව ඉදිරියේ තබනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න බොරු විපක්ෂයෙන් මේ ඇත්ත තත්වය ගැන ජනතාවට කිසිදු අදහසක්, විවේචනයක්, විරෝධයක් ගොඩනගන්න අසමත් වෙලා. ඔවුන් පාර්ලිමේන්තුවෙ වාද කරගෙන ජනතාවගේ මුදලින් කෑම කාලා විසිර යනවා.

ඒ නිසා අපි කියනවා ජනතාවගේ බදු මුදලින් ජනතාව මර්දනය කිරීමට මුදල් වෙන් නොකළ යුතුයි. පාලකයන් මේ මර්දනය නවත්වන්නෙ නෑ.

මේ තත්වය වෙනස් කරන්න නම් පාර්ලිමේන්තුවෙන් පිටස්තරව ඇත්ත ජනතා බලයක් මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි. ඒ සදහා ශක්තිමත් වාමාංශික විකල්පයක් ගොඩනැගීමට, නැවත නැවතත් ආණ්ඩු පිහිටුවමින් ජනතාව රවටන මේ දේශපාලන පක්ෂවල නායකයන්ට එරෙහිව ජනතාවගේ පාලනයක් බිහිකරන්න ඒකරාශි වියයුතු බව අපි අවධාරනය කරනවා.“