Posted on 04.14.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සමස්ත ලංකා අවන්හල්හිමියන්ගේ සංගමයේ සංවිධායක අසේල සම්පත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසිය පවසන නඩුවේ වරෙන්තුව නිසාද නැතිනම් ඇමති බන්දුලගේ උවමනාවටදැයි කුකුසක් මතුව තිබේ.
ඊයේ(13) මෙසේ අත්අඩංගුවට ගැනීඹට හේතුව ඔහු විසින් වරෙන්තුවක් මග හැර සිටීම යැයි පොලිසිය පවසයි. වොක්ෂෝල් වීදියේ පිහිටි පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගේ කටයුතුවලට බාධා කළැයි 2019 පමණ පෙර ඔහුට විරුද්ධ පැවරූ නඩුවක් පැවති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව අසේල සම්පත් ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.
එසේ වුවද සමස්ත ලංකා ආපනශාලා හිමියකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක ලෙස මෙන්ම මහජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු, වශයෙන්ද කටයුතු කරන ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට දින කිහිපයකට පෙර, සතොස ආයතනය විසින් ලබාදෙන රුපියල් 1000 සහන මඩු මල්ල සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී පළකළ තියුණු විවේචනයක් හේතුවෙන් බව ඇතැම් පිරිස් අනුමාන කරති. පසුගියදා බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා විසින් ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුව විසින් උත්සව සමයේ පිරිනමන සහන බඩු මල්ලට අපහාස කළ පුද්ගලයන් දුටුතැන අත් අඩංගුවට ගැනීමට සහ ඒවැන්නන්ට එරෙහිව වන්දි ඉල්ලා නඩු පැවරීමට බලාපොරොත්තු වන බවකි.
වෙළඳ ඇමතිවරයාගේ ප්‍රකාශයක් විවේචනය කරමින් අදාළ මාධ්‍ය හමුවේදී අසේල සම්පත් ප්‍රකාශ කර තිබුණේ එම බඩු මල්ල යහපාලන රජයේ අවසන් සමයේදී මිලදී ගත්තේ නම් වැයවනු ඇත්තේ රුපියල් 600 – 650ක් වැනි මුදලක් පමණක් බවකි.
මෙම ප්‍රකාශය සම්බන්ධව රුපියල් කෝටි 50ක් වන්දි ඉල්ලා නඩු පවරන බව ඇමති බන්දුල ප්‍රකාශ කර තිබිණි. එහෙත් එවැනි නඩුවක් මේ දක්වා පවරා නැති අතර අසේල සම්පත් කළ ප්‍රකාශය සම්බන්ධ ඔහුගෙන් පලිගැනීමට මර්දනකාරී පියවර ගෙන ඇති බවට විවේචන එල්ල වී ඇත.