தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
ගෝඨා(භයෙන්) මහින්දට වාසි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨා(භයෙන්) මහින්දට වාසි !



ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වන බවට ආරංචි පළවීමත් සමග වත්මන් ආණ්ඩුවට පක්ෂපාත කණ්ඩායම් අතර විශාල උනන්දුවක් ඇති වී තිබුණේ ගෝඨාභය යනු කවුරුන්ද යන්න පිළිබද අදහස් සමාජයට මුදා හරිමින් ‘ගෝඨාභය භීතිකාවක්’ නිර්මාණය කිරීමටය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, දරදිය ඇදීමෙන් ජ.වි.පෙ. කළ දායකත්වයද සමග. 2005 ජනාධිපතිවරණය ජයගත්තේය. ඉන්පසුව එක්සත් ජනපදයේ සිටි සිය බාල සොයුරු ගෝඨාභය රාජපක්ෂ ගෙන්වා ඔහුට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරය දෙන තුරු සමාජයේ බොහෝ දෙනකුට ගෝඨාභය සම්බන්ධ වැැටහීමක් නොතිබිණි. එහෙත් ඔහු සිය සැබෑ ස්වරූපය හෙළිදරව් කරමින් යුද සමයේත් පශ්චාත් යුද සමයේත් මර්දනකාරී රෙජීමයේ යකඩ සපත්තුව බව පෙන්වන්නට විය. 2010 ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව මහින්ද හා ගෝඨාභය එක්ව ගෙනගිය මර්දනය වඩා උත්සන්න වීය. අවසානයේ 2015  වත්මන් පාලනය බිහිවූයේ එකී මර්දනකාරී දූෂිත මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමන්නට විවිධ සමාජ බලවේග ක‍්‍රියාකිරීම නිසාය. එහෙත් එම පරාජයෙන් පසුව රාජපක්ෂ කණ්ඩායම ශක්තිමත් විපක්ෂ බලවේගයක් කැදවාගෙන වත්මන් පාලනයට බිහිසුනු අභියෝගයක් එල්ල කර ඇත.

වටහාගත යුතු ප‍්‍රධාන කරුණක් නම් ඔවුන්ට එවැනි බලවේගයක් නිර්මාණය කරන්නට හැකිවූයේ වත්මන් පාලනයේ අසමත්කම හා විශේෂයෙන් 2015 රාජපක්ෂ පරාජයට දායක වූ ජනතා බලවේග වෙත දුන් පොරොන්දු ඉටුකිරීමට අසමත්වීම නිසාය. මේ තත්වය තුළ එක් අතකින් ආණ්ඩුවේ බලය දුර්වල වෙමින් හවුල්කාර මෛත‍්‍රීපාල සිරිසේන මෙන්ම එක්සත් ජාතික පක්ෂය ජනතාවගෙන් දුරස් වී ඇත. එය ප‍්‍රයෝජනයට ගන්නා රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ ඔහුට හිතවත් කන්ඩායම් දැන් ප‍්‍රධාන විපක්ෂ බලය බවට පත්ව ඇත. දෙමළ ජාතික සන්ධානය හා ජ.වි.පෙ. ඇතුලු විපක්ෂයේ සෙසු පක්ෂ කිහිපයක් තිබේ. 2005 රාජපක්ෂ පාලනය බිහිකිරීමට මෙන්ම වසර 10කට පසුව පරාජය කිරීමටද දායක වූ ජ.වි.පෙ. යළිත් රාජපක්ෂ විරෝධය හා වත්මන් ආණ්ඩුවේ දූෂණ අක‍්‍රමිකතා පිළිබද විවේචනයේ යෙදෙමින් රාජපක්ෂ කණ්ඩායමට හා ආණ්ඩුවට එකවර මුහුණදීමේ අර්බුදයක ඇද වැටී සිටී. මේ අතර විපක්ෂයට ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ඉදිරිපත්කිරීමේ ගැටලුව මතු වූ අතර එක් පිරිසක් ගෝඨාභයද තවත් පිරිසක් බැසිල්ද වෙනත් පිරිසක් චමල්ද මේ අතරින් තවත් අය නැවත මහින්ද ජනාධිපතිවරණයට ඉදිරිපත්කරන්නට වාද විවාදවල නිරත වුහ.

මේ තත්වය තුළ, ගෝඨාභය විසින් කල්තියා සැලසුම් කර සිය දේශපාලන ආගමනයට පෙළගැස්වූ වැඩසටහන් කඩිනමින් සමාජ ගත රකන ලදී. ‘වියත්මග’, ‘එළිය’ වැනි වැඩසටහන් මෙරට ජාතිකවාදී ප‍්‍රභූ බලවේග ආමන්ත‍්‍රණය කරමින් මැදපන්තික බලවේග අතරද පදනමක් දමමින් ක‍්‍රියාකාරි වූ අතර ඔවුන් පොදුවේ රාජපක්ෂ කණ්ඩායමේ බලවේගයම විය. මෙසේ මහින්ද රාජපක්ෂ වටා සිටි බලවේග ගෝඨාභය ජනාධිපති කිරීමේ අරමුනකින් සංවිධානය කෙරෙන විට, කලබල වූයේ මහින්ද -බැසිල් කණ්ඩායම පමණක් නොවේ. රාජපක්ෂ රෙජීමය පරාජය කරමින් ඒ වෙනුවට රනිල් – මෛත‍්‍රී හවුල් පාලනය ගෙන ආ ජ.වි.පෙ. ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කලබල විය. විශේෂයෙන් 2015 රාජපක්ෂ පරාජයට පත්කරන්නට සමාජ බලවේග මතවාදී ලෙස කැදවන්නට සමත් වූ සිවිල් සංවිධානද කලබල විය. ඔවුන් සියල්ලම උමතුවෙන් මෙන් ගෝඨාභය භීතිකාවෙන් පෙළෙමින් සිය සැහැල්ලු අවි සහ බර අවි සියල්ලෙන් එකවර දමාගසන්නට වූයේ ගෝඨාභය වෙතය.

ජ.වි.පෙ. 20 වැනි සංශෝධනය නමින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට තකහනියක් සංශෝධන යෝජනාවක් ගෙන ආවේද එම ප‍්‍රහාරයේ කොටසක් ලෙසය. විධායක ජනාධිපතිවරයෙක් වෙනුවට විධායක අගමැති කෙනෙක් අරමුනු කරගත් යෝජනා ලෙස බැලු බැල්මට පෙණනුද එය ඉදිරියේ රාජපක්ෂ කන්ඩායමේ නැගීමකට පහරදෙන ප‍්‍රතිසංස්කරණයක් බව පැහැදිලිය. මේ අතරම සාධාරණ සමාජයක් සදහා ව්‍යාපාරය, පුරවැසි බලය හා රාවය කතුවරයාගේ පුනරුද ව්‍යාපාරය පවා ගෝඨාභය පැමිණීමේ බයකින් ප‍්‍රතිචාර දක්වන ලදී. එහිදී විවිධ සාධක සක‍්‍රිය වෙමින් ගෝඨාභය යම් ආකාරයක පසුබෑමකට ඇද දැමුවද සතය වශයෙන්ම අවසාන ගනන් බැලීමේදී රාජපක්ෂ කදවුරට පළාගිය ජනතා බලවේග ආපසු හැරවිමට නම් ඔවුන් සමත් වූයේ නැත. සිදුවූයේ ගෝඨාභය ප‍්‍රහාරයට ලක් වෙද්දී නැවත මහින්ද රාජපක්ෂ දේශපාලන නායකයකු ලෙස ඉදිරියට ගෙන එන්නට ඒ සියලු ප‍්‍රහාරකයන් දායක වීමය.

ඔවුහු 2015දීද රාජපක්ෂ රෙජීමය පරාජය කිරීම සිය ඒකායන අරමුණ බව එක හෙලාම ප‍්‍රකාශ කළ අතර ප‍්‍රාතන්ත‍්‍රවාදය දිනාගනෑම සිය ප‍්‍රමුඛ අභිලාෂය බවද ඉන්පසුව රට සංවර්ධනය කිරීම, නීතියෙ ආධිපත්‍ය හා සමාජ සාධාරණත්වය ආදී සියල්ල සාක්ෂාත් කරගත හැකි බවද මේ අය කියා සිටි බව අමතක කළ නොහැක. එහෙත් දැන් නැවතත් ඔවුන්ට 2015 යොදාගත් සටන්පාඨ පුවරු දූවිල් ගසා දමා නැවත පාවිච්චි කරන්නට තරම් සරදම් සහගත ඉරණමකට ඔවුන් ඇද වැටී ඇත. එක් දෙයක් පැහැදිලිය. ඔවුන් තවමත් තමන්ට වැරදුණේ කොතැනදැයි වටහාගන්නට අසමත් බවය.

2015 වැරදුනේ මුහුනු මාරුවකින් සමාජ ජයග‍්‍රහණ අත්පත් කරගත හැකි බව විශ්වාස කිරීම නිසා යැයි ඔවුන් පිළින්නේ නැත. එසේ පිළිගන්නවා නම් තුන් වසරකට පසුව, රාජපක්ෂ කණ්ඩායමේ ගෝඨාභය නැගී සිටින විට ඔවුන් ‘ගෝඨාභය භීතිකාව’ සිය ඒකායන අරමුණ බවට පත්කරගන්නේද නැත. එක් පුද්ගලයකු වෙනුවට තවත් පුද්ගලයකු මාරු කරමින් කෙළින සදුව නිසා ගෝඨාභය හෝ මහින්ද හෝ වෙනත් ඔ්නෑම පුද්ගලයකු සිය බල අරමුණු වෙනුවෙන් කරළියට පැමිනේන බවද එහිදී නැවත නැවත එකම සටන් පාඨ ගෙන එන තමන් අවසානයේ පරාජිතයන් බවද ඔවුන් වටහා ගන්නා දවසක ඔවුන් ඇත්තටම අරමුනු කරන්නේ සමාජ සාධාරණත්වය, නීතියේ ආධිපත්‍ය හෝ ආර්ථික සංවර්ධනය නම්, ඒ ගැන සිතා බලන්නට ජනතාවට හැකි වනු ඇත. සමාජ බලවේග ඒ දෙසටත් මේ දෙසටත් ඇදගෙන යන මෙවැනි දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා කැරිෂ්මා ප‍්‍රතිරූපකයන් සිටින තාක් පීඩාවට පත් ජනතාවට නම් නිදහසක් නැත.