Posted on 02.01.2020 by Sithara Sajeewani in විදෙස් පුවත් with 0 Comments
වසර 47කට පසු බ්‍රිතාන්‍ය ඊයේ යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත් විය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් එරට නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පැයකට පෙර ජාතිය අමතමින් මෙය නව යුගයක ඇරඹුම ලෙසත්, අවසානයක් නොව ආරම්භයක් ලෙසත් සඳහන් කරන ලදී.
සෙසු යුරෝපා රටවල් 27 න් වෙන්වීමේ අවස්ථාව සත්‍ය ජාතිය ගොඩනැගීමේ සහ වෙනසක අවස්ථාව බවද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකර තිබේ.
බ්‍රිතාන්‍ය පුරා බ්‍රෙක්සිට් ක්‍රියාවලියට පක්ෂව සහ විපක්ෂව විරෝධතා පැවැත්වෙන අතර බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර යුරෝපා සංගමයට අයත් ආයතනවලින් එක්සත් රාජධානියේ ධජය ඉවත් කිරීම මේ වනවිටත් ආරම්භ කර තිබේ. ඊයේ රාත්‍රියේ ආරම්භ කළ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්පූර්ණ වනු ඇත්තේ දීර්ඝ ‘සංක්‍රාන්ති කාලයකට’ අනුවය. එම කාලයේදී යුරෝපා සංගමය සමඟ ස්ථීරසාර (නිත්‍ය) නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට බ්‍රිතාන්‍යට අවස්ථාව උදා වේ. නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත් වුවද ක්‍රියාවලිය අවසන් වන තෙක් යුරෝපා සංගමයේ ඇතැම් නීති බ්‍රිතාන්‍යයට අදාළ වේ. විශේෂයෙන්ම යුරෝපා සංගමයේ රටවල් අතර නිදහසේ ගමන් කිරීමට එම රටවල වැසියන්ට තිබූ අවසරය අහිමි වන්නේ මෙම වසර අග දෙසැම්බර් මාසයේදීය.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතව තිබුණේ ඉකුත් වසරේ මාර්තු 31 වැනි දින වුවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කිරීම හමුවේ එය මේ දක්වා කල් දැමුණි. බ්‍රිතාන්‍යය වසර 47ක් සාමාජිකත්වය දැරූ යුරෝපා සංගමයෙන් ඉවත් වීම ඊයේ (31) එරට වේලාවෙන් රාත්‍රී 11.00 ට නිල වශයෙන් සිදුවිය.
බ්‍රෙක්සිට් නමින් හැඳින්වෙන යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ 2016 වසරේදීය. එම වසරේ පැවති ජනමත විචාරණයට අනුව බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් සියයට 52 ක ප්‍රතිශතයක් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට කැමැත්ත පළකර තිබුණි.
බ්‍රිතාන්‍ය මේ ආකාරයෙන් යුරෝපා සංගමයෙන් ඉවත් වුවද මෙම ක්‍රියාවලියේ ඉදිරිය සහ යුරෝපා සංගමයේ මෙන්ම විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ අනාගතය අවිනිශ්චිත යැයි ඇතැම් දේශපාලන සබඳතා විශ්ලේෂකයෝ මත පළ කරති.
මෙම වෙන්වීමත් සමඟ බ්‍රිතාන්‍ය සාමාජික රටවල් 28කින් සමන්විත යුරෝපා සංගමයෙන් ඉවත්ව යන පළමු රට බවට පත්වෙයි. කෙසේවෙතත් මේ තත්වය තුළ බ්‍රිතාන්‍යයට ස්වාධීන රාජ්‍යයක් ලෙස යුරෝපා සංගමය සමඟ ගිවිසුම් අත්සන් කිරීම වැනි රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතිකරගැනීමට හැකි වේ.