Posted on 10.25.2018 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
එළඹෙන ජනවාරි මස 01 වැනිදා සිට කාබන් බද්ද අය කිරීම ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පවසයි.
අද(25) දින පාර්ලිමේන්තුවේ පැවති මුදල් පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදි ඔහු මේ බව පවසන ලදි.
මෙම බද්දට අමතරව වාණිජ වශයෙන් කෙරෙන ජංගම දුරකථන කෙටි පණිවුඩ සඳහා ද ඉදිරියේදී බද්දක් නියම කරන බවත් මෙම බදු සංශෝධන යටතේ මන්දිර බද්ද ඉවත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන ලදි.
වත්මන් හවුල් ආණ්ඩුවේ පසුගිය අයවැයෙන් යෝජනා කරන ලද මෙම කාබන් බද්ද විද්‍යුත් නොවන රථ වාහන සඳහා අය කිරීමට නියමිතව ඇති අතර එම යෝජනාවට අනුව යතුරු පැදියකින් දිනකට ශත 17ක් ද, මෝටර් රථ සඳහා දිනකට රුපියල් 1.78 ක්ද මගී බස් රථ සදහා දිනකට රුපියල් 2.74ක් ද කාබන් බද්ද ලෙස අය කෙරෙන බව සඳහන් වේ. මෙමඟින් එකතු කරගනු ලබන අරමුදල පරිසරය සුරැකීමට යොදා ගැනෙන ආණ්ඩුව පවසයි.
උපක්‍රමයක් ලෙස ආණ්ඩුව අවම ප්‍රතිශතයන්ගෙන් බදු වර්ග හඳුන්වා දී පසුව අදාළ ප්‍රතිශතයන් විශාල ප්‍රමාණයන්ගෙන් ඉහළ නැංවීමට කටයුතු කර ඇත. ඉදිරියේදී කාබන් බද්ද මගී ගාස්තු ඉහළ යෑමේ තීරණාත්මක සාධකයක් වීමට නියමිත අතර දිගින් දිගටම ඉහළ යමින් තිබෙන භාණ්ඩ හා සේවා මිළ නැවත වටයකින් ඉහළ දැමීමට පමණක් මැදිහත් වෙමින් වැඩකරන ජනතාව මත බර පැටවීමේ එකම ආර්ථික උපක්‍රමය ඉදිරියටත් ක්‍රියාත්මක වන බව මේ අනුව පැහැදිලි වෙමින් තිබේ.
පොහොසතුන්ගෙන් බදු අය කර දුප්පතුන් නඩත්තු කරන බවට පුරසාරම් දොඩමින් බලයට පැමිණ වත්මන් හවුල් ආණ්ඩුව විශාල ආදායම් ලබන්නන්ගේ දැවැන්ත මන්දිර සඳහා යෝජිත බදු ඉවත් කර විවිද අරමුණු පෙන්වා වැඩකරන ජනතාව මත බර පටවමින් පහල පාන්තික පීඩිත ජනතාව සූරා කමින් ඉහළ පාන්තික සුළුතරය නඩත්තු කරමින් ඇත.