தமிழ்
English
Contact
Tuesday 25th June 2019    
ආණ්ඩුව රැකියා දෙන බව කියා රැකියා විරහිත උපාධිධාරින් රවටන ව්‍යාපෘතියක! - ඒකාබද්ධ රැකියාවිරහිත උපාධිධාරී සංගමය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුව රැකියා දෙන බව කියා රැකියා විරහිත උපාධිධාරින් රවටන ව්‍යාපෘතියක! – ඒකාබද්ධ රැකියාවිරහිත උපාධිධාරී සංගමය



වත්මන් ආණ්ඩුව විසින් දහස් ගණනක් රැකියා විරහිත උපාධිධාරින්ට බොරු කරමින් තවදුරටත් ඔවුන් රැවටීමේ යෙදී සිටින බව අද දින පැවැත්වෙන රැකියා ලබාදීමේ වැඩසටහනින් පෙනී යන බව ඒකාබද්ධ රැකියාවිරහිත උපාධිධාරී සංගමය පවසයි. රැකියා විරහිත උපාධිධාරින්ගේ විරැකියාවට විසදුම් ලබා දෙන බව පවසමින් රනිල්-මෛත‍්‍රී හවුල් ආණ්ඩුව බලයට පත් වුවද මේ දක්වා ඒ සම්බන්ධ කිසිවක් කර නැති බව එම සංගමය පෙන්වා දෙයි. එම වංචනික පියවර සම්බන්ධයෙන් ඒකාබද්ධ රැකියාවිරහිත උපාධිධාරී සංගමයේ කැදවුම්කරු, තැන්නේ ඥානානන්ද හිමි විසින් නිකුත් කළ ප‍්‍රකාශයක් මේ සමග පළ කරමු.

———————————————————————–

ආණ්ඩුව කන්දක් විලිලා මී පැටියෙක් වැදීම හෙවත් උපාධිධාරීන් 4000ක් පුහුණුවට බදවා ගැනීම

වත්මන් ආණ්ඩුවේ ජනාධිපති හා අගමැති රැකියා විරහිත උපාධිධාරීන් සැමට රැකියා දෙන බවට පුරසාරම් දොඩවා අද දින උපාධිධාරීන් 4100කට පමණක් රැකියා ලබාදී සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කෙරෙමින් ඇත.
වත්මන් ආණ්ඩුව බලයට පත්වන්නේ උපාධිධාරීන් මින් ඉදිරියට මහපාරෙ රස්තියාදු නොකරන බවට පොරොන්දු වෙමිනි. නමුත් බලය ලබාගත් තැන සිට ආණ්ඩුව ජනතාවට දුන් අනෙක් පොරොන්දු මෙන් මෙකී පොරොන්දුව ද කඩ කළේ ය.
2012 මාර්තු 31 දිනෙන් පසු මහින්ද රාජපක්ෂ පාලනය යටතේ වසර තුනකුත් වත්මන් මෛත්‍රී – රනිල් පාලනය යටතේ වසර තුනකුත් වශයෙන් උපාධිධාරීන් වසර 06 ක් රැකියා විරහිතව සිටින්නට සිදුව ඇත. ඒ නිසාම උපාධිධාරීන් 58000කට අධික ප්‍රමාණයක් අද වනවිට රැකියා විරහිත පොලීමේ සිටිති.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ලෙස අප 2013 වසරේ ආණ්ඩුවට උපාධිධාරී ගැටලුව විසදන මෙන් ඉල්ලා අරගලය අරඹන ලදී. රැකියා ලබාදෙන වාර්ෂික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙසත් ඉල්ලා විවිධ ක්‍රියාමාර්ග ගන්නා ලදී.
අවසාන වරට 2017 අගෝස්තු මස ආණ්ඩුවට උපාධිධාරීන්ට රැකියා දෙන බවට ප්‍රකාශ වලට එහා ගිය වැඩපිළිවෙළක් සකස් කිරීම දක්වා යාමට සිදු වූයේ උපාධිධාරී අරගලය නිසාමය.
ඒ අනුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් පුවත්පත් නිවේදනයක් දමමින් උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවන්නට විය.
අමාත්‍යාංශය මුලින් බඳවා ගන්නා ප්‍රමාණයක් පිලිබඳ නිශ්චිත අදහසක් ප්‍රකාශ නොකළ අතර බලකිරීම් හමුවේ එකී අමාත්‍යාංශයට උපාධිධාරීන් 20000ක් වසර දෙකක පුහුණුවකට බදවා ගන්න බව පවසන ලදී. අප ඉල්ලා සිටියේ ආණ්ඩුවේ පවතින ගුරු සහ අනෙක් උපාධිධාරී පුරප්පාඩු සඳහා දැනට සිටින සියලු උපාධිධාරීන්ට රැකියා දෙන ලෙසයි. ජනාධිපතිවරයා පවසන පරිදි සියලු උපාධිධාරීන්ට රැකියා දීමට ආණ්ඩුවේ පුරප්පාඩු දැනටමත් ඇත.
ආණ්ඩුව උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළ වැඩපිළිවෙළ කල් වරන්නට විය.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විරෝධතා හා සාකච්ඡා පවත්වමින් ආණ්ඩුව ‍රැකියා දෙන තැනට ඇදගෙන එන ලදී.
අවසන් වරට අමාත්‍යාංශය ප්‍රකාශ කලේ ජුනි 01 දින උපාධිධාරීන් 20000ක් වසරක පුහුණුවක් සදහා බඳවා ගන්නා බවයි. අසාර්ථක සම්මුඛ පරීක්ෂණ දෙකක් පවත්වා මහජන මුදල් කෝටි ගනනක් කාබාසිනියා කළ ආණ්ඩුවේ ලොක්කෝ අවසන අමාත්‍යාංශයෙ පවතින පුරප්පාඩු 21300 ද පසෙක ලා 4100ක් පමණක් අද දින බඳවා ගැනීමට යයි.
මේ අතර පක්ෂ , විපක්ෂ මැතිඇමතිවරු පාර්ලිමේන්තුවේ හා මාධ්‍යවල ලොකු කතා පවත්වමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් බොර දියේ මාළු බෑමටපටන්ගෙන ඇත. ඒ අතර ඇතැම් රැකියා විරහිත උපාධිධාරී සංගම් කඩිමුඩියේ විරෝධතා සංදර්ශන පැවැත්වීමට පටන්ගෙන් ඇත. ඔවුන් පසුගිය කාලය පුරා හැසිරුණේ කසාය බිව් ගොලුවන් ලෙස ය.
අප අදද ආණ්ඩුවෙන් ඉල්ලන්නේ පුරප්පාඩු පවතින ප්‍රමාණය අනුව සියලු උපාධිධාරීන්ට රැකියා දෙන ලෙසයි. එමෙන් ම ආණ්ඩුව උපාධිධාරීන් සුලු පිරිසකට පමණක් රැකියා ලබාදී කරන නාටකයට හසුනොවන මෙන ජනතාවගෙන් හා රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
ගුරු සා සංවර්ධන නිලධාරි පුරප්පාඩු සදහා උපාධිධාරීන් බදවා ගන්න ලෙස අඛණ්ඩ අරගලයක් ඇවැසි මොහොත උදාවී ඇත. එකී අරගලය සදහා දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් උපාධිධාරීන් සංවිධානය කරන අතර ඒ හා එක්වන මෙන් සියලු රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. ආණ්ඩුවේ හා විපක්ෂයේ මාධ්‍ය සංදර්ශනවලට හා ඇතැම් උපාධිධාරී සංගම්වල නාටකයන්ට හසුනොවන මෙන් ද ඒ සමගම ඉල්ලා සිටිමු.
අද දින පත්වීම් ලබන උපාධිධාරීන්ට සුබ පතන අතර අයිතීන් දිනාගැනීමට අඛණ්ඩව අප හා එක්වන මෙන් ඔවුන්ට ද ආරාධනා කරමු.

කැඳවුම්කරු,
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය,
තැන්නෙ ඤාණානන්ද