Posted on 06.16.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
එක්සත් ජනපද පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති අප්‍රිකා-අමෙරිකානුවකු ඝාතනය කිරීමට විරෝධය පළ කරනු පිණිස, ජුනි මස 9 වැනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැවැත්වූ උද්ඝෝෂණයට ආණ්ඩුව පොලිසිය යොදා එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පළ කරමින්, නිහඬ විරෝධතාවයක් අද (16) කොළඹ, ලිප්ටන් වටරවුමේදී පැවැත්විණි.
භාෂණයේ රැස්වීමේ හා විරෝධය පෑමේ අයිතිය අහෝසි නොකරන ලෙස බල කරමින් වෘත්තීය සමිති, බහුජන සංවිධාන රැසක සහභාගිත්වයෙන් කැඳවන ලද මෙම උද්ඝෝෂණයට විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
පෙ.ස.ප. විරෝධතාවට පහරදීම හෙළා දකින ඒකාබද්ධ විරෝධතාව අද සවස
ජූනි 9 වැනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹදී සංවිධානය කළ නිහඬ විරෝධතාවට පහරදීම හෙලාදකිමින් අද(16) වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන විසින් ඒකාබද්ධව පවත්වන විරෝධතාවක් කොළඹදී කැඳවා ඇත.
නිරෝධායන පිළිවෙත් රකිමින් සාමකාමී විරෝධතාවක් සංවිධානය කළ අවස්ථාවක පොලිසිය විසින් නිරෝධායන රෙගුලාසි මෙන්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිදුකළ ම්ලේච්ඡ පහරදීමට විවිධ සංවිධාන හා ප්රමුඛ පෙළේ කලාකරුවන්, සිවිල් ක්‍රියාකාරින් විරෝධය පළකරන ලදී. ලංකාවේ ප්රජාතන්ත්ර විරෝධී හා මර්දනකාරී තත්වයක් වෙත පෙර නිමිත්තක් බැවින් එයට එක්ව විරෝධය දැක්විය යුතු බවට දැක්වූ අදහස් මත මෙම ඒකාබද්ධ විරෝධතාව සංවිධානය කළ බව වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන නායකයෝ ‘ලංකාවීව්ස්’ වෙත අදහස් දැක්වූහ.
මෙම විරෝධතාව සාමකාමී සහ නිරෝධායන ක්‍රම අනුගමනය කරන්නක් වන බැවින් අධිකරණයේ හෝ ආරක්ෂක අංශවල බලපෑමක් ඇති නොවේ යැයි අපේක්ෂා කෙරේ. එහෙත් වෘත්තිය සමිති හා සංවිධාන ගණනාවක් ඒකාබද්ධව පැවැත්වෙන මෙම සාමකාමී විරෝධතාව පැවැත්වෙන ස්ථානය වේලාසන මාධ්‍ය වෙත අනාවරණය කිරීමට නොහැකිව ඇත්තේ එවැනි බාහිර බලපෑමක් මගින් විරෝධතාව කඩාකප්පල් කිරීම වැළැක්වීමට බව ඔවුන්ගේ අදහස විය.