ගුරු වැටුප් වැඩි නොකළොත්, ලක්ෂ 45ට ඉවසීම නැති වෙයි! – ඒකාබද්ධ ගුරු සේවා සංගමය

ආණ්ඩුව, ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් දුන් පොරොන්දු කඩකර ඇති නිසා දෙලක්ෂ පනස් දහසක් පමණ ගුරුවරු පමණක් නොව, පාසල් දරුවන්ගේ මව්පියන් ඇතුළු හතළිස් පන්ලක්ෂයක ජනකායක් ඒ සම්බන්ධයෙන් ඉවසා සිටින්නේ නැති බව ගුරු සංගම් විසින් ආණ්ඩුවට අනතුරු අගවා ඇත.

ආණ්ඩුව විසින් අධිකරණ සේවයේ විවිධ මට්ටම්වලට ලබාදුන් වැටුප් වැඩිකිරීම අනුව, ගුරුවරුන් වැනි පහළ වැටුප් තලවල සිටින රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට වහා පියවර ගත යුතු බව ඒකාබද්ධ ගුරු සේවා සංගමය අවධාරනය කරයි. ඒකාබද්ධ ගුරු සේවා සංගමය විසින් අද කොළඹදී කැදවූ මාධ්‍ය හමුවකදී මේ බව පැවසුවේ එම සංගමයේ ප‍්‍රධාන ලේකම් විමල් පියතිස්ස,  මේ බව පැවසීය. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒකාබද්ධ ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා පැවසූ අදහස් මෙසේය.
‘1994 ගුරු ව්‍යවස්ථාවෙන් ලබා දුන් වැටුප් තල 1997.1.1 බී.සී. පෙරේරා වැටුප් කොමිසමෙන් කප්පාදු කළා. අනෙකුත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළත් ගුරුවරුන්ගේ වැටුප් පිළිබඳව පසුව සලකා බලනවා කියලා, වැටුප් වැඩි කිරීම කල් දැම්මා. ඒ තත්වය ඉන් පසුව පත්වූ ආණ්ඩු දිගටම ක‍්‍රියාත්මක කළා. ඒ නිසා ගුරුවරුන්ගේ වැටුප් පහළට වැටුණා.
ඒ වගේම පසුගියදා අධිකරණ සේවයේ වැටුප් රුපියල් 50,000කින් වැඩි කිරීමත් එක්ක රාජ්‍ය, පෞද්ගලික සියලූ අංශවල බරපතළ වැටුප් විෂමතාවක් ඇති වෙලා තිබෙනවා. මේ නිසා සියලූ දෙනාගේ වැටුප් වැඩි කළ යුතුයි.
ගුරුවරුන්ට ලැබෙන්නේ සොච්චම් වැටුපක්. මේ නිසා රැුකියා දෙක තුනක් කරන්න ගුරුවරුන්ට සිද්ධ වෙලා. විශාල මානසික ආතතියක් තිබෙනවා. ඒ නිසා මේ තත්වය ඉගෙනුම් ක‍්‍රියාවලියට බලපානවා.
2002 වසරේ ආරම්භ කළ පාසල් පාදක ඇගැයීම් ක‍්‍රමය මුළුමනින්ම අසාර්ථකයි. ඒක අසාර්ථක බව අධ්‍යාපන පරිපාලන බලධාරීන් පවා පිළිගන්නවා. මේ අනවශ්‍ය කොළ පිරවිල්ල ගුරුවරුන්ට බරක් වගේම සිසුන්ට කිසිදු සාධනීය දෙයක් නොවෙයි.
ඒ වගේම ගුරුවරුන්ගේ හිඟ වැටුප් ගෙවීම, වැටුප් විෂමතා ගැටලූ විසඳීම, උසස්වීම් නිසි පරිදි ලබාදීම, ස්ථාන මාරු ලබාදීම ඇතුළු ගැටලූ රැුසක් තිබෙනවා. මේ ගැටලූවලට වහාම විසඳුම් අවශ්‍යයි.
ගුරු මාරු මණ්ඩල දෙකක් තිබෙනවා. එකක් මධ්‍යම රජය යටතේ තිබෙනවා. අනෙක පළාත් සභා යටතේ ක‍්‍රියාත්මක වෙනවා. මේ දෙක අතර නිතරම ගැටලූ පැන නඟිනවා. මේ ප‍්‍රශ්නය විසඳන්න පුළුවන් එකම විදිය තමයි, ගුරු සේවය දීප ව්‍යාප්ත සේවයක් බවට පත් කිරීම.
ආණ්ඩුව හිතමතාම ගුරු විදුහල් ස්වාභාවික මරණයකට යවමින් ඉන්නවා. ඊට අවශ්‍ය යෝජනා 2017 අයවැයට අන්තර්ගත කර තිබුණා. සැබෑ ගුරු හිඟයක් තිබෙනවා. ඒකට පිළියම් යොදනවා වෙනුවට, ඒ ගුරු හිඟය අධිනිශ්චය කර ගුරු අධ්‍යාපනය මුදලාලිකරණය කරන්න පියවර ගෙන තිබෙනවා. උසස් පෙළ සමත් දරුවන්ට රුපියල් ලක්ෂ පහක ණය මුදලක් දීලා ගුරු අධ්‍යාපනය පෞද්ගලික අංශයට දීලා, ගුරු විදුහල් අහෝසි කරන්න කටයුතු කරමින් ඉන්නවා. නවීන දැනුමෙන් පොහොසත් ගුරු අධ්‍යාපන ක‍්‍රියාවලියක් සකසන්න කියා ඒකාබද්ධ ගුරුසේවා සංගමය ලෙස අපි රජයට බල කරනවා.
ඒ විතරක් නොවෙයි. දැන් තිබෙන්නේ විභාග ඉලක්ක කර ගෙන දරුවන් හැල්මේ දුවවන අධ්‍යාපන ක‍්‍රමයක්. දරුවන්ට ළමා ලෝකය අහිමි කර තිබෙනවා. නිසි අධ්‍යාපන ක‍්‍රමවේදයක් ගොඩනැගිය යුතුව තිබෙනවා.
මේ බොහෝ ප‍්‍රශ්නවලට මූලික හේතුවක් වෙලා තිබෙන්නේ අධ්‍යාපනයට ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන ලබා නොදීම. දැන් අයවැයෙන් වෙන් කරන්නේ 1.8%ක් පමණ ප‍්‍රතිශතයක්. ජාත්‍යන්තර වශයෙනුත් පිළිගෙන තිබෙනවා, අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කළ යුතුයි කියලා. මේ ආණ්ඩුව බලයට එද්දීත් ඒක මූලික ඉල්ලීමක්. ඒ නිසා අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්න කියා අපි බලකරනවා.
ගුරුවරුන් 2,50,000ක් ඉන්නවා. දරුවන් ලක්ෂ 43කගේ දෙමාපියන් ලක්ෂ 40ක් ඉන්නවා. මේ සියලූ දෙනාම ඒකාබද්ධ කරගත් අරගලයකට ඒකාබද්ධ ගුරු සේවා සංගමය ප‍්‍රවිශ්ට වෙලා ඉන්නවා. මේ සියලූම ඉල්ලීම් දිනා ගන්නා තුරු මේ අරගලය නතර කරන්නේ නෑ.”
ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සභාපති වාස් ගුණවර්ධන, විධායක සභිකයන් වන හර්ෂ විජේසුන්දර, උපාලි සෙනෙවිරත්න, අමිල සඳරුවන් යන අය මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

Chandana Sirimalwatte :