தமிழ்
English
Contact
Sunday 5th May 2019    
ඉන්දියන් සාගර කලාපය තුළ යුදමය අතපෙවීමට අමෙරිකානු සූදානම හෙළි වේ ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්දියන් සාගර කලාපය තුළ යුදමය අතපෙවීමට අමෙරිකානු සූදානම හෙළි වේ !



ලංකාව ඇතුළු කලාපයේ රටවල් සමග ඒකාබද්ධ මෙහෙයුම් දියත් කරමින් ඉන්දියන් සාගර කලාපය තුළ ජාත්‍යන්තර වෙළදාමේ ආරක්ෂාව සහතිකකිරීම සඳහා වැඩපිළිවෙළක් දියත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය සූදානම් බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ වැඩබලන සහකාර ‍ලේකම් ඇලිස්.ජී. වෙල්ස් පවසයි.

පසුගිය 01වැනිදා කොළඹදී පැවැති ඉන්දීය සාගර සම්මන්ත්‍රණය අමතමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. මෙහිදී කලාපීය රටවල් අතර බුද්ධි තොරතුරු  හුවමාරු කිරීම වැඩිදියුණු කිරීම ඇතුලු කටයුතුවලට සහායවීමට එක්සත් ජනපදය කටයුතු කරන බව ඇලිස්.ජී. වෙල්ස් විසින් ප්‍රකාශ කරන ලදී. මෙහිදී නාවික අඩවි එකිනෙකා හා සම්බන්ධ ක්‍රියාකිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බවත්, දිනෙන් දින කාර්ය බහුල වන්නාවූ නාවික වාතාවරණයක් තුළ විශ්වාසදායී තොරතුරු හුවමාරුවක් අවශ්‍ය බවද ඇය එහිදී අවධාරණය කර තිබේ. දශක හතකටත් වැඩි කාලසීමාවක් පුරා නැගෙනහිර අප්‍රිකා වෙරළ තීරයේ සිට අමෙරිකාවේ බටහිර වෙරළ තීරය  දක්වා වූ මෙම සුවිශාල වැදගත් භූමි ප්‍රදේශයේ වගකීම ඇමෙරිකාව විසින් භාරගත් බවද එක්සත් ජනපද නිලධාරිනිය ප්‍රකාශ කළාය. ලංකාව හා එක්සත් ජනපදයේ නාවික හමුදාවන් අතර පවත්නා සම්බන්ධතා මේ වනවිටත් වැඩිකරගනිමින් සිටින බවත් දෙරට අතර පළමු නාවික අභ්‍යාසය ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙනු ඇති බවත් ඇය සිය දේශනයේදී හෙළි කළාය.

කෙසේවෙතත් භූ දේශපාලනික හේතු අනුව, මේ වනවිට චීන බලපෑම් උත්සන්න වෙමින් පවතින දකුනු ආසියා සහ ඉන්දිය සාගර කලාපයේ එක්සත් ජනපදයට පයගසා ගැනීමට අවශ්‍යතා මතුව ඇත. නිදසුනක් ලෙස පසුගිය කාලයේ සෝමාලියානු කොල්ලකරුවන් විසින් නැගෙනහිර අප්‍රිකානු කලාපයේ නාවික යාත්‍රා කොල්ලකෑම් ගණනාවක් සිදුවූ අතර එක්සත් ජනපද නාවික බලය ව්‍යාප්ත කිරීමෙන් ඒවා වැළැක්වීමක් සිදු නොවීය. කලාපීය ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට එම කොල්ලකෑම්වල ප්‍රතිපලයක් ලෙස එක්සත් ජනපද නාවික බලය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ ගිවිසුම් ස්ථාපිත කිරිමය. විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට සෝමාලි කොල්ලකරුවන් විසින් ඉටු කර ඇත්තේ එක්සත් ජනපද යුද බලය කලාපයට ඇතුළුවීමේ හේතු ඇතිකිරීමයි.