ඌවේ පළාත්පාලන නියෝජිතයන්ගේ භාෂා අයිතිය වෙනුවෙන් පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගනී!

ඌව පළාතේ සියළුම පළාත් පාලන ආයතනවල සභා සැසිවාරයන්හිදී නියෝජිතයන්ට ලබාදෙන වාර්තා ඇතුළු සියළුම ලිපි ලේඛන සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම නිකුත් කරන ලෙසට ඌව පළාත් ආණ්ඩුකාරවර ආරිය බී රුකව විසින් පළාත් පාලන කොමසාරිස්වරයා වෙත නියෝගකර තිබේ.
වතුකරයේ දෙමළ හා මුස්ලිම් දේශපාලන නියෝජිතයින් බහුතරයකට සිංහල භාෂාව කියවීමේ හා ලිවීමේ හැකියාව නැති බවට හා පළාත් පාලන ආයතන රැස්වන අවස්ථාවන්හි වාර්තා ඇතුළු සියළුම ලේඛණ පිටපත් සිංහල භාෂාවෙන් පමණක් නිකුත් කිරීම ගැටළුකාරී තත්වයක් වී ඇතැයි පෙන්වා දෙමින් අරවින්ද කුමාර් මන්ත‍්‍රීවරයා විසින් ආණ්ඩුකාරවරයාට ලිපියක් යොමුකරණ ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වන සංශෝධනයේ 22 – 1 වගන්තියට අනුකූලව මෙම ක්‍රියාමාර්ගය ගන්නා ලෙසට පළාත් පාලන කොමසාරිස්වරයාට සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාට ආණ්ඩුකාරවරයා ලිඛිතව දැනුම් දී තිබේ. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනුව, පුරවැසියකුට රජයේ හෝ වෙනත් අත්‍යවශ්‍ය ලියකියවිලි ස්වභාෂාවෙන් ඉල්ලා සිටීමේ අයිතිය ඇත. එහෙත් මේ වනවිටත් ඇතැම් ප‍්‍රදේශවල දෙමළ භාෂාව පමණක් දන්නා වැසියන්ට සිංහල හෝ ඉංග‍්‍රීසි බසින් රජයේ ලිපි ලේඛන ලබාදෙනු ලබයි. එසේම ඇතැම් අවස්ථාවල සිංහල සුලුතරයක් වාසය කරන ස්ථානවලදී දෙමළ භාෂාව යොදාගන්නා නිසා සිංහල භාෂාව පමණක් දන්නා වැසියන්ට එවැනිම භාෂා දුෂ්කරතා ඇති වේ. සමස්තයක් වශයෙන් භාෂා අයිතිය පුරවැසි අයිතියක් ලෙස පිළිගන්නා නමුත් එය ක‍්‍රියාත්මක කරන්නට ආණ්ඩුව විසින් විධිමත් ක‍්‍රියාමාර්ග ගෙන නැත. විශේෂයෙන් පරිවර්තක පුරප්පාඩු පුරවා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දෙන අයිතියවත් ලබා දෙන්නට ආණ්ඩු ගණනාවක්ම පියවර ගෙන නැත.

Chandana Sirimalwatte :