Posted on 03.08.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජාතිවාදී ප්‍රචණ්ඩත්වයට එරෙහිව බේද නොතකා එක් වන ලෙස අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සියලු දෙනා වෙත ආරාධනා කරයි.
පසුගිය දිනවල අැතිවූ ජාතිවාදී සිදුවීම් ව්‍යාප්ත වන්නට නොදී එක්ව කටයුතු කර ලෙස ශිෂ්‍ය ප්‍රජාවගෙන් මෙන්ම සමස්ත සමාජය වෙත ආයාචනා කරමින් නිකුත් කළ ඒ නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
සියලූ ජාතිවාදී ගැටුම්, මැදිහත්වීම්වලට එරෙහිව ජාති, ආගම් භේද නොතකා එක්ව නැගී සිටිමු!
මේ වන විට රටේ ප‍්‍රදේශ කිහිපයක නිර්මාණය වී තිබෙන ගැටුම්කාරී වාතාවරණය කුමන හෝ රටක, සමාජයක කිසිසේත්ම සිදු නොවිය යුතුය යන්න අපගේ විශ්වාසයයි. නමුත් පසුගිය වසර කිහිපය මුළුල්ලේ අවස්ථා කිහිපයකදීම විවිධ ස්ථානවල ජාතිවාදී ගැටුම් ඇතිවූ බව නොරහසකි. එහි ආසන්නතම සිදුවීම් වන අම්පාර හා මහනුවර ප‍්‍රදේශවල ඇතිවූ සිද්ධීන් ද මනුෂ්‍යත්වය වැඩි දියුණු කළ යුතු සමාජයක සිදු නොවිය යුතු සිදුවීම්ය.
එසේ නම් මෙවැනි සිදුවීම් හෙළා දැකීමෙන් පමණක් සෑහීමකට පත්වීමට අපට හැකියාවක් නොමැත. ඉන් එපිටට ගිය බරපතල සාකච්ඡුාවක්, සංවාදයක් සේම ප‍්‍රායෝගික තලයේ ක‍්‍රියාත්මක වීමක් ද අතවශ්‍ය බව අප තරයේ විශ්වාස කරන්නෙමු. ජාතිවාදී ගැටුම් සම්බන්ධව අප රටේ සේම ලෝක මට්ටමේ අත්දැකීම ද අපට ඕන තරම් ඇත. අප රට තුළ හෝ ලෝක මට්ටමෙන් ඇති වූ මෙවැනි සිද්ධීන්වලින් පසු සමාජයට ඉතිරි වූයේ මොනවාද යන්න සලකා බැලිය යුතුය. එකී සියලූ සිදුවීම්වලින් ඉතිරි වූයේ දිනෙන් දින ගොඩ ගැසෙන මළ මිනී, ලේ වැගිරීම්, ගිනි තැබීම්, දේපල හානි පමණකි. මනුෂ්‍යත්වය ඉදිරියේ කළු පැල්ලමක් පමණි. අම්පාර හා තෙල්දෙණිය සිදුවීම් දෙස පරික්ෂාවෙන් බැලූ කල ඉතා පැහැදිලි කාරණයක් වන්නේ උසි ගැන්වීම්වලට අදාළ දේශපාලන මැදිහත්වීම් ඒ තුළ තිබෙන බවයි. මෙකී සිද්ධීන්වල පමණක් නොව ඉතිහාසයේ සිදු වූ සෑම සිදුවීමක් පසුපසම ජාතිවාදී දේශපාලන හස්තයන් ක‍්‍රියාත්මක වූ බව නොරහසකි.
මෙවැනි සිදුවීම් ඇති කිරීමත්, අහඹු සිදුවීම් පදනම් කරගනිමින් උසිගැන්වීම් සිදු කිරීම හා මෙවැනි සිද්ධීන් හිතාමතා පාලනය නොකිරීම හා වර්ධනය වීමට ඉඩ හැරීම පිළිබඳ ඕනෑ තරම් සාක්ෂි ඇත. 1983 කළු ජුලිය අවස්ථාවේ ද එය පාලනය කිරීමට ආණ්ඩුව කටයුතු නොකිරීමත් ඉන් පසු එම සිදුවීම මත පදනම්ව මර්දනය ක‍්‍රියාත්මක කිරීමත් මඟින් ඒ බව මනාව පැහැදිලි වේ.
තම දේශපාලන අරමුණ ඉටු කරගැනීමට සඳහා ජාතිවාදී අදහස් සමාජයේ වැපිරීමට කටයුතු කළ, කටයුතු කරන සියලූ කණ්ඩායම් මෙවැනි තත්ත්වයන්වලට ඍජුවම වගකිව යුතුය. අවසානයේ සිංහල, මුස්ලිම් මරණ ගණන් කිරීමට පටන්ගෙන තිබේ. නමුත් එකී නින්දිත ගණනය කිරීම්වල එකතුව අවසානයේ මිනිසුන් විශාල පිරිසකගේ ජීවිත අහිමිවීමක් බව තේරුම් නොයෑම ඛේදනීය තත්ත්වයකි. මෙකී මනුෂ්‍ය ඝාතන සිදු වන්නේ ද ආගම, ජාතිය මූලික කරගත් ඊනියා දේශපේ‍්‍රමීන් අතින්ය. නමුත් රතුපස්වල, තඹුත්තේගම, පැල්වෙහෙර, නිදහස් වෙළඳ කලාපය, මීතොටමුල්ල ඇතුළු ජනතා උද්ඝෝෂණවලට සිදු කළ පහරදීම්වලදී ජාති භේදයකින් තොරව සාමාන්‍ය ජනයා පීඩාවට පත් විය. නමුත් පහරදීම සිදු කළ ආණ්ඩුවේ බලධාරීන්ගේ ව්‍යපාරික ස්ථාන, නිවාසවලට කිසිවෙකුත් හානි කළේ නැත. සිදු වූයේ ජාති, ආගම් භේද නොසලකා ආණ්ඩුවේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක වීමට ඉඩ හැරීම පමණි. ජාති, ආගම් මූලික කරගෙන සාමාන්‍ය මිනිසුන් ගහ මරා
ගැනීමේ වාසිය කාටද යන්න සිතා බැලිය යුතුය.
බඩු මිල වැඩි වීම, වරාය නගරය ඉදි වීම, පොහොර සහනාධාරය, ජල ප‍්‍රශ්නය, වකුගඩු රෝගය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ජලය විකිණීම, වැටුප් ප‍්‍රශ්න ඇතුළු එක්ව විරෝධය පල කළ යුතු, සටන් කළ යුතු ප‍්‍රශ්න සියල්ල පසෙක ලා එකිනෙකා මරා ගැනීම සිදු වෙමින් පවතී. සිදු විය යුත්තේ එය ද යන්න සිතා බැලිය යුතුය.
ජාතිවාදයේ ගිනිදළු ඇවිලීම ඉතා පහසුය. නමුත් නිවා දැමීම කෙතරම් සංකීරණ ද යන්න තෙල්දෙණිය සිදුවීමෙන් තහවුරු වේ. මන්ද හමුදා, පොලිසී, හදිසි නීති මේ කිසිවකින් මේ වන තෙක් මෙම තත්ත්වය පාලනය කිරීමට නොහැකි වී ඇත. එම නිසා මෙකී සියලූ ආකාරයේ ජාතිවාදී ගැටුම්, මැදිහත්වීම් අප ශිෂ්‍ය
ව්‍යාපාරය ලෙස තරයේ හෙළා දකින්නෙමු. ඒවාට තවදුරටත් ඉඩ හදන දේශපාලන සංස්කෘතිය, සමාජ සංස්කෘතිය ද අප දැඩි පිළිකුලෙන් ප‍්‍රතික්ෂේප කරන්නෙමු. ඊට එරෙහිව නැගී සිටීමට ද අප පසුබට නොවන්නෙමු.
අප මෙරට සියලූ ජන කොටස්වලින් ඉල්ලා සිටිනුයේ සියලූ ජාති, ආගම් භේද පසෙක ලා සියලූ අකාරයේ ජාතිවාදී ගැටුම්වලට එරෙහිව නැගී සිටින ලෙසයි. මනුෂ්‍යත්වය වෙනුවෙන් එක්ව සටන් කරන ලෙසයි!
ස්තුතියි!
ළහිරු වීරසේකර, කැදවුම්කරු,
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.