தமிழ்
English
Contact
Monday 28th March 2022    
විනී විතාරණ විද්වතා සමුගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විනී විතාරණ විද්වතා සමුගනී!



හෙළ හවුල භාෂා ව්‍යාපාරයේ සාමාජිකයකු මෙන්ම මෙරට කීර්තිමත් පඬිවරයකු වූ මෙන්ම සිංහල භාෂාව පිළිබඳ හසල බුද්ධිමතෙකු වූ කලාකීර්ති, මහාචාර්ය විනී විතාරණ ඊයේ (02) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

1928 ජූනි මස 02 දින තංගල්ල ප්‍රදේශයේ පල්ලිකඩ ග්‍රාමයේ උපත ලබන විනී විතාරණ,  කොළඹ ලංකා විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථ‍ම උපාධිය ලබා ගාල්ල මහින්ද විද්‍යාලයේ ගුරු පත්වීමක් ලබා ගන්නා විනී විතාරණ, 1953 දක්වා එහි සේවය කර පසුව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ සේවය කළේය.

සිය උසස් අධ්‍යාපනයේදී ලන්ඩන් විශ්වවිද්‍යාලය සිංහල – ප්‍රථම පන්තියේ උපාධිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය 1959 ශාස්ත්‍රපති උපාධිය, එම සරසවියෙන් ආචාර්ය උපාධිය – 1966, ආචාර්ය උපාධිය ලන්ඩන් විශ්වවිද්‍යාලය – 1968 ඔහු ලබාගෙන තිබේ.

1960දී විද්‍යෝදය (ජයවර්ධනපුර) විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පදවියක් ලබා 1981 දී ඉන් ඉවත් වන විට මහාචාර්ය පදවිය දරමින් සිටියේය. 1981 දී රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය පදවියට පත්වන මහාචාර්ය විනී විතාරණයන් 1993 දී විශ්‍රාම ගන්නා තුරුම රුහුණ විශ්වවිද්‍යාලයට අනුයුක්තව සිය සමාජ මෙහෙවරේ යෙදී සිටියේය.

විශ්‍රාම ගැනීමෙන් පසුව ආරාධිත මහාචාර්යවරයකු ලෙස කැලණිය, ජයවර්ධනපුර, සබරගමුව විශ්වවිද්‍යාලවලත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආදී විද්‍යායතනයන්හී විද්‍යාර්ථින්ගේ මග පෙන්වීමට මැදිහත් විය.

මහාචාර්ය විනී විතාරණයන් සිංහල හා ඉංග්‍රීසි කෘති රාශියක කතුවරයාද වන අතර මුවදෙව්දාවත, සසදාවත සහ මයුර සංදේශය ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත.

සිය සාහිත්‍ය මෙහෙවර අතරතුර ඔහුගෙන් බිහිවූ වැදගත්ම කෘතියක් වන්නේ පිටු 1700 කින් යුතු සද්ධර්ම රත්නාවලිය ඉංග්‍රීසි පරිවර්තනයයි. කෙසේවෙතත් එය තවමත් මුද්‍රණයෙන් පළ වී නැත.

අභාවප්‍රාප්ත විද්වතාගේ දේහය ගල්කිස්සේ සමුද්‍රාසන්න මාවතේ ඔහුගේ නිවස සිට හෙට(03) උදෑසන සිට බොරැල්ල ජයරත්න අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කෙරෛන්නට නියමිතය. අවසන් කටයුතු බදාදා (04) බොරැල්ල කනත්තේ දි සිදු කිරිමට නියමිතය.

විනී විතාරණගේ කෘති

1956 – ආසියා එළිය (Light of Asia සිංහල ගද්‍ය පරිවර්තනය)

1961 – භූගෝලවිද්‍යා ශබ්දකෝෂය
– සිතුවම් භූගෝලය: ලංකාව

1975 – ලිපි අට

1977 – ගොඩ මානෙල (පද්‍ය පරිවර්තනය)

1978 – මිදි විත (පද්‍ය පරිවර්තනය)

1986 – Totagamuwa

1992 – The Oru and Yatra
– හිරෝශිමාව
– බලි යාගය
– පහදුව

1993 – පබඳ අත්වැල

1997 – Sun and Moon in Sinhala Culture
– Sri Lanka – Maldivian Cultural Affinities

1999 – Sri Lanka: Geographical Vision
– Night of Doom
– සුනිල් සමර (සුනිල් සාන්ත උවසර)

2001 – ආසියා පෙහෙළිය (රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ Light of Asia සිංහල පද්‍ය පරිවර්තනය)

2002 – රුබෙයියාතය (ඔමාර් ඛයියාම්ගේ ‘රුබයියාට්‘ පරිවර්තනය)

2004 – ගීතාඤ්ජලී (පද්‍ය පරිවර්තනය)
– මේඝ රාගය

2007 – පදය, වාක්‍යය හා ඡේදය
– Muwadew Daa Vata (මුවදෙව්දා වත ඉංග්‍රීසියට පිවර්තනය)

2009 – අමර සමරුව (අමරසූරිය චරිතාපදානය)

2012 – Sasa Daa Vata (සසදා වත ඉංග්‍රීසියට පිවර්තනය)

2013 – වියරණ විසිතුර

2015 – Selalihini Sandesha (සැලලිහිනි සංදේශය ඉංග්‍රීසියට පිවර්තනය)

2019 – Saddharmaratanawali (සද්ධර්මරත්නාවලිය ඉංග්‍රීසියට පිවර්තනය)

Mayura Sandesha (මයුර සංදේශය ඉංග්‍රීසියට පිවර්තනය)

මීට අමතර වශයෙන් සුබස, එඩිය, දින දින, සංස්කෘති, වීමංසා, සාහිත්‍යය, සංඛ වැනි ප්‍රකාශනවලට විනී විතාරණ වියතා විසින් බොහෝ ලේඛන සපයා පළකර ඇත.

මූලාශ්‍රය – හෙළ හවුල