Posted on 01.28.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී සැක කටයුතු අන්දමින් මිය ගිය ජානක බණ්ඩාර සහ සිසිත ප්‍රියංකර යන විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනාගේ මරණයට අදාළ නඩුවේ උදෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇතත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැතැයි එම නඩුව පසුගියදා (25 දා) කැඳවූ අවස්ථවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තම්නේතුව ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරයට දන්වා තිබේ. ඒ අනුව නඩුව නැවත කැඳවීම ජුනි මස 07 දා දක්වා කල් ගොස් තිබේ. සිසුන් දෙදෙනා මිය ගොස් දැනට වසර 06 ටත් වැඩි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් පරීක්ෂණ බර කළේ පරීක්ෂණ කඩිනම් කිරීමට වුවත් අපරාධ පරීක්ෂණ දෙපර්තම්නේතුවත් සාමාන්‍ය පොලීසිය මෙන් ක්‍රියාකරන බව එම නඩුව කැඳවූ අවස්ථාවේ විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාජිකාද සිල්වා පෙන්වා දී ඇත.
ජානක සහ සිසිත යන සිසුන් දෙදෙනා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනකට සහාය දක්වමින් යතුරු පැදියකින් යමින් සිටියදී අනතුරකට ලක්ව මිය ගොස් ඇති බව පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබුණි. ඔවුන් දෙදෙනාගේ සිරුරු හා ගමන්ගත් යතුරු පැදිය ගම්පහ ඉඹුල්ගොඩ හංදියේ තිබියදී 2012 සැප්තැම්බර 27 වැනි දා අලුයම ලැබුනු තොරතුරක් මත සොයාගන්නා ලදී. ඉඹුල්ගොඩ හංදියේ රිය අනතුරක් බව අලුයම 4.30ට පමණ වාර්තා වී එහි ගිය බව සහ ඒ වන විටත් සිසුන් අත පය සොලවනවා දුටු බවට පොලිසිය විසින් ප්‍රකාශ ලබා දී ඇත. කෙසේවෙතත්, සිසුන් දෙදෙනා මිනී කාරයකින් රෝහලට ගෙනගොස් ඇත්තේ උදේ 7.30ට පමණය. ඒ වන විට දෙදෙනා මිය ගොස් සිටි බවට මල්ශාලා සේවකයන් ප්‍රකාශ ලබා දී ඇත. උදෑසන 4.30 වන විට පණ පිටින් සිටි සිසුන් දෙදෙනා උදේ 7.30 වන තුරු රෝහලට ගෙන නොගොස් මිනී කාරයක් ගෙන්වාගෙන ඔවුන් රෝහලට රැගෙන යෑම ගැන බරපතල සැකයක් ඇතැයි ද සිසුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් අධිකරණයට කරුණු දක්වා තිබුණි.
ඒ අනුව මෙම සිසුන් දෙදෙනාගේ මරණය රිය අනතුරක් හේතුවෙන් සිදුවූක්ද නැතිනම් මනුෂ්‍ය ඝතනයකඩ යන්න පරීක්ෂණ සිදුකිරීම සඳහා අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර කෙරිණි. නමුත් වසර ගණනාවක් පුරා නඩුව දිග්ගැස්සෙමින් තිබෙනවා විනා නඩුවේ අවසානයක් දකන්ට නොමැත. එසේම ඉහත සඳහන් වී ඇති පරිදි මෙම නඩුවේදී මෙන්ම වෙනත් බොහොමයක් නඩුවලදී නීතිපති උපදෙස් ප්‍රමාද වීම යුක්තිය පසිඳලීම සඳහා ගැටලුවක් වී ඇති බව දක්නට ලැබේ.