Posted on 09.27.2020 by Chandana Sirimalwatte in කලා with 0 Comments
දකුණු ඉන්දිය කලාකරුවන් අතර ලංකාවේ රසිකයන් අතර මහත් ආදරයට පත් එස්.පී.බාලසුබ්රමනියම් පසුගියදා අභාවයට පත් විය.
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස විසින් දකුණු ඉන්දිය සංගීත සම්ප්‍රදායෙන් නිර්මාණය කළ ‘ආරාරෝ ආරෝ ආරිවරෝ’ ගීතය ගායනා කිරීම ඔහු පිළිබඳ වඩාත් අවධානයට ලක්වන මතකයන් අතරට ගත හැකිය. ජානකී සමග බාලු සිය මිහිරි කටහඬ එක් කළ එම ගීතය ප්‍රේමසිරි කේමදාස විසින් කළ ‘ගොළු හදවතින් තුන්වැනි යාමයට’ සංගීත ඇල්බමයේ විශේෂ ගීතයක් බවට පත් විය. (ඒ ගීතය පහත සබඳතාවයෙන් ශ්‍රවණය කළ හැකිය)
74 වැනි වියේදී මේ ප්‍රවීන ගීත කෝකිලයා, කවුරුත් ආදරයට හඳුන්වන ‘බාලු’ මරණයට පත් වූයේ කෝවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතරතුරය. අගෝස්තු 5 වැනිදා රෝග ලක්ෂණ ඇතිවීමෙන් රෝහල්ගත කෙරුණු බාලු දින කිහිපයක් ගෙවීයාමත් සමග අසාධය තත්වයට පත්ව ‘දැඩි සත්කාර ඒකකයට’ යොමුකරන ලදී. සැප්තැම්බර් 25 වැනිදා ඔහුගේ අවසන් හුස්ම වාතලයට එක්වූයේ ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා මිලියන සංඛ්‍යාත රසික රසිකාවන් සිත් කම්පාවට පත් කරමිනි.
අන්ද්‍රා ප්‍රදේශ්හි සාම්ප්‍රදායික තෙළිඟු පවුලක පුතුන් තුන් දෙනකු හා දියණියන් පස් දෙනකු අතර උපන් දෙවැනි පුත්‍රයා ඔහුය. 1964 ගායකයකු ලෙස වෘත්තිය කටයුතු ආරම්භ කරන්නට ඔහුට ධෛර්ය ලබාදෙන්නට ඇත්තේ චෙන්නායි සංස්කාතික සංවිධානයක් විසින් කැඳවූ ගායනා තරගයෙන් ලැබූ ජයග්‍රහණයයි. එහිදී සංගීත අධ්යක්ෂවරයකු වූ එස්.පී.කොඩන්දපානි විසින් මෙම යෞවන ගායකයා සිය නිර්මාණ කටයුතුවලට සම්බන්ධ කරගෙන 1966 ඉන්දිය සිනමා සංගීතයට යොමු කරනු ලැබීය. එසේ ජනප්‍රිය කලා ජීවිතයට මුල් පියවර තැබූ මේ අසහාය ගායකයා, දිවි ගමන නිමා කරනවිට ගීත 40,000ක් පමණ ගායනා කර ඇත. ඔහු තෙළිඟු, කණ්නඩ, හින්දි, තමිල් හා මලයාලම් ඇතුළු ඉන්දිය භාෂා 16කින් ගීත ගායනා කර ඇති බවද ඇතැම් වාර්තා පවසනවා. ඔහු මේ වනවිට තනි ගායකයකු විසින් පටිගත කළ වැඩිම ගීත සංඛ්‍යාව සම්බන්ධ ගිනස් වාර්තා පොතටද ඇතුළත්ව සිටී. එපමණක් නොව එක් දිනකදී පැය 12ක් තුළ ගීත 21ක් පටිගත කරමින් ඔහු තවත් වාර්තාවක් තබා ඇත. එසේම දිනකදී ගීත වැඩි ගණනක් පටිගත කිරීම් ලෙස තමිල් ගීත 19ක් හා හින්දි ගීත 16ක් පටිගත කිරීමෙන්ද ඔහු වාර්තා අතරට එක්ව සිටී. ඔහු විසින් ‘කෙලාඩි කන්මනි’ (Keladi Kanmani) චිත්‍රපටය සඳහා හුස්ම ගැනීමට පවා නොනැවතී මිනිත්තු 4ක් එකදිගට ගායනා කළ ‘මන්නිල් ඉන්තා’ ගීතය මගින්ද වාර්තා තබා ඇත.
ඉන්දිය ජාතිකයකුට හිමිවන ඉහළම සම්මාන ලෙස පද්ම භූෂන්, පද්ම ශ්‍රී ඇතුළු ජාතික සම්මාන 6ක් දිනා සිටි බාලු පුරා වසර 30ක් අඛණ්ඩව ජනප්‍රියතාව නොවැටී ගායනා ක්ෂේත්රයේ රැඳී සිටීමද සුවිශේෂි තත්වයකි.
ඊයේ(26) ඔහුගේ අවසන් කටයුතු තමිල්නාඩුවේ තිරුවල්ලුවර් දිස්ත්‍රික්කයේ තමරයිපාකම්හි පවුලේ ගොවිපලේදී සිදුකරන ලදී. ඔහුගේ පුත් එස්.පී. චේරන් වේද ගායනා මැද පියාගේ චිතකයේ කටයුතු බ්‍රාහ්මණ සම්ප්‍රදායට සිදුකරන ලද බව ඉන්දිය පුවත් වාර්තා කළේය. බාලුගේ පුත්‍රයා මෙන්ම දියණිය පල්ලවි මෙම අභිවය නිසා දුක්වන ඉන්දිය ජනයා අතර සිටී. ඔවුන් ‘ගයන සඳ’ සහ ‘සංගීත මේඝය’ යන නම්වලින් බාලුගේ ගායන හැකියාව අගය කළේ ඔහුම ගැයූ ගීතවල ඇතුළත් පද ඇසුරිනි.
ලංකාවේ ගීත රසිකයන්ටද අමතක කළ නොහැකි ලෙස මිහිරි තමිල් ගීතාවලියක් ලබාදුන් එස්.පී.බාලසුබ්රමනියම් වියෝවීමේ ශෝකය වෙනත් ලාංකික කලාකරුවකුගේ අහිමිවීම තරම්ම වේදනාකාරී බව නම් නිසැකය.



