129 වැනි ‘ජාත්‍යන්තර කම්කරු දිනය‘ සමරන්නට ලංකාවේ වැඩකරන ජනයාට ඇති අයිති උල්ලංඝනය කිරීමට ආණ්ඩුව දෙවැනි වසරටත් කටයුතු කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි. මැයි 1 වැනිදාට යෙදෙන ‘ජාත්‍යන්තර කම්කරු දිනයේ සමස්ත ලෝකවාසී වැඩකරන ජනයා සමග එක්ව නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයේ රක්ත වර්ණ ධජය ඉහළින්ම ඔසවාලන ලෙස ලාංකීය වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ මෙසේ සටහන් වේ.
“මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය එළඹී ඇත්තේ ජාත්‍යන්තර වශයෙනුත් ජාතික වශයෙනුත් ඉතාම සුවිශේෂී කරුණු කාරණා ගණනාවක් පෙළගැසෙමින් ඇති තත්වයකදීය. ජාත්‍යන්තර දේශපාලන ප‍්‍රතිවිරෝධතා දෙස බැලීමේදී එක්සත් ජනපද – චීන වෙළඳ යුද්ධයද, එක්සත් ජනපදය සිය ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් ගැලවීම සඳහා විවිධ රටවලට කරනු ලබන බලහත්කාරී මැදිහත්වීම්ද එමෙන්ම රුසියාව, චීනය, ඉන්දියාව, යුරෝපා සංගමය සිය බලය වර්ධනය කරගැනීම සඳහා විවිධ රටවලට කරන අතපෙවීම්ද ප‍්‍රමුඛ ලෙස නිරීක්ෂණය කළ හැක. එමෙන්ම ලෝකයේ බොහෝ රටවල අභ්‍යන්තර වශයෙන් දක්ෂිණාංශික අන්තවාදය, ජාතිවාදය, ආගම්වාදය හිස ඔසවමින් සිටින අවදියක් ලෙසද මෙය නිරීක්ෂණය වේ.
ලංකාව, ස්ථානගත වන්නේ මෙම භූ දේශපාලන සිතියම තුළය. මේ මොහොතේ දේශපාලන සිදුවීම් දෙස බැලූවද පසුගිය දසක කිහිපයේ වර්ධනය වුණ ප‍්‍රවණතා දෙස බැලූවද ඒ බැව් පැහැදිලිය. ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් විසින් මෙරට කතෝලික ජනතාවට හා විදේශීය සංචාරකයන්ට එල්ල කළ මරාගෙන මැරෙන ප‍්‍රහාරය පසුගිය පාස්කු ඉරිදා මෙරට සමාන්‍යය ජනතාව මුහුණ දුන් ඉතාම ඛේදනීය අත්දැකීමකි. කිසිදු භේදයකින් තොරව මෙරට සියලූ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා එය හෙළා දකිනු ඇත. එම ප‍්‍රහාරයයන්ට මතවාදීමය පදනම හා ද්‍රව්‍යමය සහාය සැපයූ ඉස්ලාම් අන්තවාදයත් ISIS සංවිධානයත් ඉතා පැහැදිලිව අධිරාජ්‍යවාදයේම නිපැයුම්ය.
1990 සෝවියට් කඳවුර බිඳවැටීමෙන් පසු අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියකුවන සැමුවෙල් හන්ටින්ටන් විසින් මින් ඉදිරියේ ලෝකයේ ප‍්‍රධාන ගැටුම වන්නේ පන්ති ගැටුම(Class Struggle) නොව, ශිෂ්ටාචාරමය ගැටුම (Clash of Civilizations) බවත් එයින්ද ලෝකයේ මින් ඉදිරියට ප‍්‍රධාන ගැටුම වන්නේ ක‍්‍රිස්තියානි හා ඉස්ලාම් සංස්කෘතීන් අතර ගැටුම බවත් පුරෝකථනය කළේය. ඒ 1990 දශකයේ මුල් භාගයේය. එම පුරෝකථනය පැහැදිලිවම එක්සත් ජනපද දේශපාලන උපායමාර්ග පිළිබද අවබෝධයෙන් යුතුව ඊට මතවාදීමය පසුබිම සැකසීමට කළ පුරෝකථනයක්ය. එතැන් පටන් ඉරාක ආක‍්‍රමණය, ඇෆ්ඝනිස්ථාන ආක‍්‍රමණය, ආදී වශයෙන් එක්සත් ජනපදය සිය ”තෙල් පිපාසය” සඳහා මැදපෙරදිග ලේ විලක් බවට පත්කළේය. මුජහිදීන්, තලේබාන්, ISIS වැනි කාලයෙන් කාලයට මතුවන අන්තවාදී සංවිධානවල බිහිවීමට එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදය වගකිව යුතුය. සිය විනාශකාරී අරමුණු උදෙසා යොදාගත් මෙම සංවිධාන අධිරාජ්‍යවාදයට එරෙහි බවක් පෙන්වූවද සැබැවින්ම ඒවායේ ක‍්‍රියාකාරිත්වය විසින් ලෝකයේ විවිධ කලාපවල සිය මිලිටරි මැදිහත්වීමට අධිරාජ්‍යවාදයට දොරටු විවර කරයි. එක්සත් ජනපදය ප‍්‍රමුඛ ලෝ්ක බලවතුන් ISIS සිරියාවෙන් පිසදා හළ බව උදම් ඇනුවද ISIS ප‍්‍රහාර නිමා නොවන බව ලංකාවේ අත්දැකීම් අපට සිහිපත් කරයි.
කෙසේවුවත් අපට මෙවර ජාත්‍යන්තර කම්කරු දිනයේ බැඳී ඇත්තේ එවැනි ප‍්‍රහාරයකින් සමාජය තැති ගැන්වී ඇති මොහොතකය. එහිදී භීතිය, සැකය හා වෛරය තුළ සමාජය ගිල්වීම වෙනුවට කළ යුත්තේ සිංහල-දෙමළ-මුස්ලිම් ජනතාවගේ ඒකබද්ධතාවයෙන් ඉස්ලාම් අන්තවාදය පැරදවීමයි. මුස්ලිම් ජනතාව ඉස්ලාමීය අන්තවාදයට පසුගාමී සංස්කෘතික කොන්දේසිවලට එරෙහිව සිය සමාජය තුළ මේ මොහොතේ පෙනී සිටිය යුතුය. අරගල කළ යුතුය. සිංහල-දෙමළ ජනතාව විසින් මුස්ලිම් ජනතාව, ඉස්ලාමීය අන්තවාදය දෙසට තල්ලූ කිරීමට කටයුතු නොකළ යුතුය. සැබෑ ලෙසම ඉස්ලාමීය අන්තවාදය පැරදවිය හැක්කේ එය හුදෙකලා කිරීම තුළය.
නමුත් මේ මොහොතවන විට වත්මන් ආණ්ඩුව මෙම ව්‍යසනය යොදාගනිමින් භීතිය වැපිරවීමටත්, මර්දනය අණපනත් මුවහත් කිරීමටත් සැලසුම් කරමින් ඇත. භීතිය වැපිරීම හරහා ඉතිරි සියලූ ආර්ථික, දේශපාලන, සමාජයීය හා පාරිසරික ප‍්‍රශ්න යටපත් කිරීම ආණ්ඩුවේ අපේක්ෂාවයි. මර්දන අණපනත් සම්මත කර ගැනීම හරහා සියලු දේශපාලන ක‍්‍රියාකාරකම් අඩපණ කිරීම අනෙක් අපේක්ෂාවයි. ඊට අනුව පසුගියදා ප‍්‍රතිත‍්‍රස්ත පනත(CTA) ඉක්මනින්ම ගෙන එන බවට අගමැතිවරයා නැවත ප‍්‍රකාශ කර තිබිණි. මෙම ප‍්‍රතිත‍්‍රස්ත පනතට අනුව, ආණ්ඩුවට එරෙහිව කරනු ලබන උද්ඝෝෂණයක්, පෙළපාලියක්, වැඩවර්ජනයක් වැනි ඕනෑම ක‍්‍රියාවක් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් ලෙස අර්ථකථනය කළ හැකිය. ඒ නිසා අගමැතිවරයාගේ ක‍්‍රියාමාර්ගය පැහැදිලි ලෙස බොරදියේ මාලූ බෑමකි. මුලූ මහත් ජනතාවම භීතියක ගිල්වා එහි ආශීර්වාදයෙන් මර්දන පනත් සම්මත කිරීමට අණ්ඩුව දරනා තිරශ්චීන උත්සාහයකි.
මේ සියලූ කරුනු මෙසේ තිබියදී බොහෝ දේශපාලන පක්ෂ මෙවර ජාත්‍යන්තර කම්කරු දිනයට අදාළ සියලූ ක‍්‍රියාකාරකම් අහෝසි කළ බව ප‍්‍රකාශ කර ඇත. පසුගිය වසරේ, මෙම නඩය වෙසක් පෝය දිනය හා ජාත්‍යන්තර කම්කරු දිනය එකම දිනක යෙදුණ බව කියමින් කම්කරු දිනය මග හැරියේය. මෙවර ද ඔවුන්ට හේතුවක් හමු වී ඇත. ඇත්තෙන්ම මෙරට වැඩකරන ජනතාවගේ අභිලාෂයන්ට කිසිදු සම්බන්ධයක් නැති මෙම දේශපාලන පක්ෂවලට කම්කරු දිනය අවශ්‍ය වූයේ සිය බල ක‍්‍රීඩාව වෙනුවෙන් බලය පෙන්වීම සඳහා පමණක්ය. ඒ නිසා ඔවුන්ට කල්ඇතිවම පිටියෙන් ඉවත්වීම අපට නම් අරුමයක් නොවේ.
අපට ජාත්‍යන්තර කම්කරු දිනය කිසිසේත් මග හැර යා නොහැකි දෙයකි. 1987 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එය තහනම් කළ අවස්ථාවේ පවා මෙරට කම්කරු පන්තිය ප‍්‍රමුඛ දේශපාලන පක්ෂ කම්කරු දිනය සංවිධානය කර ඇත. එදා පොලිස් නිලධාරින් එතැනට යවා වෙඩිතබා උද්ඝෝෂකයකු ඝාතනය කිරීමට පවා ආණ්ඩුව කටයුතු කළේය. එවැනි තත්වයකදී පවා වැඩකරන ජනතාව එය අත් හැරියේ නැත.
මෙවර ලංකාවේ වැඩකරන ජනතාව ජාත්‍යන්තර කම්කරු දිනය වෙත ප‍්‍රවේශ වන්නේ ඒ ගෝලීය ඉරණමේම කොටස්කරුවන් වශයෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ලෝක වෙළඳ සංවිධානය ඇතුළු අධිරාජ්‍යවාදී මූල්‍ය සංවිධානවල බලහත්කාරය මත සිදු කෙරෙන ආර්ථික ප‍්‍රතිසංස්කරණ විසින් ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනය රතු පලස් එලා පිලිගන්නා අතර වැඩකරන ජනතාව ඉතිහාසයක් තුළ දිනාගත් අයිතීන් සියල්ල උදුරා ගනිමින් තිබේ. නිදසුනක් ලෙස නව කම්කරු හා සේවා කොන්ත‍්‍රාත් අයිතීන් පනත නම් පනතක් හරහා මෙතෙක් භුක්ති විඳින ලද කම්කරු අයිතීන් විශාල ප‍්‍රමාණයක් අහිමි කිරීමට පාලකයන් සැරසේ. විවිධාකාරයෙන් වැඩකරන ජනතාවගේ සංවිධානය වීමේ අයිතිය සීමා කරමින් තිබේ. නිදහස් වෙළෙඳ ගිවිසුම් හා ශ‍්‍රම වෙළඳ පොළ ලිබරල්කරණයේ ප‍්‍රතිපත්තිය විසින් කම්කරු ශ‍්‍රමයේ මිල පහත දමා සුළු නිෂ්පාදකයා බහුජාතික ඒකාධිකාරවලට බිලි දෙමින් සිටී. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය ඇතුළු සමාජ ආරක්ෂණ සේවා වෙළඳ භාණ්ඩකරණය මගින් වැඩකරන පන්තියේ ජීවන කොන්දේසි පහළට ඇද දමන අතරම පීඩාකාරී – අයුක්තිසහගත බදු ප‍්‍රතිපත්තිය විසින් ව්‍යසනයකට පාර කපා තිබේ.
පාලකයන් මේ තත්වයට එරෙහි සමාජ විරෝධයන්ට මුහුණ දීමට යන්නේ උද්ඝෝෂණ කිරීම පවා ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් ලෙස අර්ථකථනය කෙරෙන ප‍්‍රති-ත‍්‍රස්ත පනත වැනි නව මර්දනීය අණ පනත් මගින් සමාජයේ අවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පවා අහෝසි කිරීමෙනි. එයට සමාජ අනුමැතිය සහ සුජාතභාවය නිර්මාණය කර ගන්නට යන්නේ ජාතිවාදය සහ ආගමික මූලධර්මවාදය ගැනත් ඊනියා ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයක් ගැනත් භීෂණය වපුරවමිනි. ආගමික අන්තවාදීන් අපේ‍්‍රල් 21වන ඉරිදා එල්ල කළ ප‍්‍රහාරය දඩමීමා කරගෙන ජාත්‍යන්තර කම්කරු දින පෙළපාළි හා රැළි අවලංගු කිරීමට මෙවර ගෙන ඇති තීරණය මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී භාවිතාව පිළිබඳ එක නිදසුනකි. මේ ප‍්‍රහාරය පෙන්වමින් වැඩකරන ජනතාවගේ දේශපාලන ක‍්‍රියාකාරීත්වයන් තලා දැමීමටත්, නව මර්දන නීති සම්මත කිරීමටත්, අධිරාජ්‍යවාදී මිලිටරි අනුඛණ්ඩ සහ අපකීර්තිමත් ඔත්තු සේවා ගෙන්වාගෙන ලංකාව අන්තර්-අධිරාජ්‍යවාදී යුද්ධයේ කොටස්කරුවකු කිරීමටත් පාලක පන්ති ව්‍යාපෘතිය දියත් වේ.
වැඩකරන ජනතාවගේ අයිතීන් දිනා ගැනීමට සහ ආර්ථික යුක්තිය – ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා පමණක් නොව, අධිරාජ්‍යවාදයේ සහ ආගමික මූලධර්මවාදයේ – ජාතිවාදයේ අභියෝගයටද ඇති එකම විකල්පය නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයයි. ජාත්‍යන්තර කම්කරු දිනය යනු එම නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයේ ධජය ඔසවාලන දිනයයි. එබැවින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සියලූ තහනම් නියෝගයන් නොතකා ලංකාවේදී ජාත්‍යන්තර කම්කරු දිනය සමරන අතර සූරාකෑමට, මර්දනයට, ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ඒකාධිපතිත්වයට, අධිරාජ්‍යවාදී යුද්ධයට, නව ලිබරල් ආර්ථික කොල්ලයට, සංස්කෘතික සංහාරයට, පරිසර විනාශයට, ජාතිවාදයට, ආගමික මූලධර්මවාදයට සහ සියලූ ආකාරයේ අසමානතාවයට- අයුක්තියට එරෙහිව නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයේ රක්ත වර්ණ ධජය ඉහළින්ම ඔසවාලන ලෙස සමස්ත ලෝකවාසී වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
මධ්‍යම කාරක සභාව
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2019 මැයි 01