Posted on 03.06.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කාලසීමාව අවසන් වීමෙන් පසුව විසුරුවා හැර ඇති සියලූම පළාත් සභාවල මැතිවරණ වහාම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම් සළකා බැලීම ලබන 11 වැනිදා දක්වා කල් දැමීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
හිටපු මහ ඇමතිවරුන් වන මහීපාල හේරත් සහ එස්.එම්.චන්ද්‍රසේන ගොනු කළ මෙම රිට් පෙත්සම් දෙක අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර හමුවේ ඊයේ (05) කැඳවූ අතර එහිදී පෙත්සම් සම්බන්ධයෙන් සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
මෙම පෙත්සම් හි වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසමේ සභාපති සහ එහි සාමාජිකයින් , අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධානත්වයෙන් පළාත් සභා සීමා නිර්ණය කිරීම සඳහා පත් කළ කමිටුවේ සාමාජිකයින් , පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පළාත් සභා සීමා නිර්ණය කිරීමේ ක‍්‍රියාවලිය අවසන් වන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවට මැතිවරණ කොමිසම දරණ මතය වැරදි බවත් , ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයිද කියා සිටින බැවින් පළාත් සභා සීමා නිර්ණ කමිටුවේ වාර්තාව වහාම ජනාධිපතිවරයාට බාර දෙන ලෙස එම කොමිසමට නියෝග කරන ලෙසත් , කාලසීමාව අවසන් වීමෙන් පසුව විසුරුවා හැර ඇති සියලූම පළාත් සභාවල මැතිවරණ වහාම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයිද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.