Posted on 11.24.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණයට ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමය විරෝධය පළ කරයි.
තම අනුදැනුමකින් තොරව ගැසට් පත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ධුරයෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා තීරණය කර තිබුණි.
2014 වසරේ දෙසැම්බර් මස 22 වන දින නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් එවක පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ග්ලයිෆොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස්, කාබොෆියුරාන් නමැති පලිබෝධනාශක වර්ග 5 දිස්ත්‍රික්ක කිහිපයක භාවිතය හා අලෙවිය තහනම් කළ අතර වත්මන් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ.සුමිත් එය අවලංගු කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණි.
ඔහුව ධුරයෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවර ගත්තේ ඊට එරෙහිවය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමය පවසන්නේ අදාල ගැසට් නිවේදනයෙන් එකී පළිබෝධනාශක ආනයනයට ඉඩක් නොලැබෙන බැවින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ධුරයෙන් ඉවත් කිරීම සාධාරණ නොවන බවය.
එබැවින් එම තීරණය නිවැරදි කරන මෙන් ජනාධිපතිවරයාගෙන් ඔවුන් ඉල්ලීමක් කර තිබේ.
මේ අතර පලිබෝධනාශක රෙජිස්ටාර් ජේ. ඒ. සුමිත් පවසා ඇත්තේ තමන් කටයුතු කළේ පළිබෝධනාශක තාක්ෂණික හා උපදේශන කමිටුවේ සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත බවත්, ඒ නිසා තමන් නිකුත් කළ ගැසට් නිවේදනය නීතිවිරෝධී නොවන බවත්ය.