Posted on 05.23.2022 by Chandana Sirimalwatte in ආර්ථික පුවත්, දේශීය පුවත් with 0 Comments
මේ වන විට පවතින සහල් සංචිත ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මාසයේ මැද දක්වා පමණක් බව අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පිළිබඳ සොයාබැලීමේ කමිටුවේ දී අද (23) වාර්තා කර තිබේ.
මෙම තත්වය තුළ ආහාර හිගයට මුහුණදීමේදී රට පුරා ආහාර වැඩසටහනක් ආරම්භ කළ යුතු බවද වගා සංග්‍රාමයකට යා යුතුබවද අගමැතිවරයා පවසා ඇත. පොහොර නොලැබීම හේතුවෙන් මාස් කන්නය සඳහා වගා කටයුතුවලින් බැහැරවීමට ගොවි ජනතාවට සිදුව තිබේ. ඊළඟ යල කන්නයේ අස්වනු නෙලීමට හැකිවන්නේ පෙබරවාරි මාසයේ නිසා ඒ දක්වා ඇති වන අහාර හිඟයට කඩිනම් විසඳුම් සෙවිය යුතු බවත් විශේෂයෙන් නාගරික ප්‍රදේශ වලට ආහාර සැපයීම පිළබඳ අවධානය යොමු කළ යුතු බවත් අගමැතිවරයා පවසා තිබේ. ඒ අනුව හිගය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක් පත් කර ඇත.
මීට අමතරව බස්නාහිර හා දකුණු පලාත්වල වගා සංග්‍රාමය හා අහාර සැපයීමේ කටයුතු වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන, විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සහ එජාප සභාපති වජිර අබේවර්ධන මහත්වරුන් සහ කොළඹ පුරපතිනී රෝසි සේනානායක ඇතුළත් කමිටුවක් පත් කෙරිණි.
අත්‍යවශ්‍ය සැපයුම් සම්බන්ධ කටයුතු කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පත් කළ ඔහුට සමීප එ.ජා.ප. සාමාජිකයන්ගෙන් සැදුම්ලත් මෙම කමිටුව අද කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී රැස් විය.
මේ වන විට ලංකාවවේ මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් බවත් සැප්තැම්බර් මැද වන විට දැනට පවතින සහල් තොගය අවසන් වන බවත් එම කමිටුවේ දී ප්‍රකාශයට පත් විය.
සහල් තොග වශයෙන් රැස්කර ලබා ගන්නා මහ පරිමාණ මෝල් හිමි ව්‍යාපාරිකයන් විසින් සහල් මිල තීරණය කිරීම හා තොල පාලනය කරමින් වෙළඳපොළ පාලනය කිරීම නිසා දැනට රට තුළ නිෂ්පාදනය වන සහල් ජනතාව වෙත අඩු මිලකට ලබාදීමේ ගැටලුවක් පවතී. නිෂ්පාදන පිරිවැය අවම වන ඔවුන්ගේ මහා පරිමාණ සහල් නිෂ්පාදනයට ගොවි ජනතාවගෙන් මිලදී ගන්නා සහල් ආණ්ඩුවේ පාලන මිලට වඩා අඩු ගණන් වලට මිලදී ගන්නා බවට චෝදනා එල්ල වී ඇත. පිටරටවලින් සහල් ආනයනය කරමින් මිල පාලනය කරන්නට ආණ්ඩුව ගත් උත්සාහයද ව්‍යර්ථ විය. නමුත් ගෝඨාභය රාජපක්ෂ පොරොන්දු වූ ආකාරයට එම සහල් ඒකාධිකාරය බිඳ දැමීමට අසමත්වීම නිසා තවමත් ජනතාවට අධික මිල ගණන්වලට සහල් මිලදී ගන්නට සිදුව ඇත.