ප්‍රහාර සැලසුම් ගැන රාජ්‍ය බුද්ධි අංශ දැනසිටි බවට තොරතුරු

කොළඹ සහ ඇතැම් ස්ථානවල ඊයේ (21) සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් කලින් තොරතුරු ලැබී තිබුණ ද ඒ පිළිබඳව ප්‍රමාණවත් පියවර නොගැනීම සහ ප්‍රමාණවත් පරිදි අවධානය යොමු නොකිරීම බරපතළ කරුණක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය.

අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් තමා ඇතුළු අමාත්‍යවරුන් දැනුවත් නොකිරීම සහ තොරතුරු ලැබී තිබියදී ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොකිරීම සහ අදාළ පියවර නොගැනීම සම්බන්ධයෙන් ද සොයා බලන බව අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණි.

මේ අතර සංවිධානගත පිරිසක් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කරන බවට රාජ්‍ය බුද්ධි සේවයෙන් දී තිබෙන වාර්තාවේ තොරතුරු සඳහන් වී ඇති හෙයින් ඒ පිළිබඳව දැඩි අවධානයකින් සිටින්නැයි විශේෂ ආරක්‍ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආරක්‍ෂක අංශ වෙත ඉකුත් 11 වැනිදා දැනුම් දී තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබේ. එම දැනුම් දීම සඳහන් ලිපියක්ද මාධ්‍ය මගින් පළ කර ඇත.

මේ අනතුරු ඇඟවීම පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශයද පොලිස්පතිවරයා වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස්පතිවරයා ද ඉකුත් 9 වැනිදා මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇති බවත් ඒ අනුව මේ පිළිබඳව දැඩි සැලකිල්ල යොමු කළ යුතු බවත් විශේෂ ආරක්‍ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආරක්‍ෂක අංශ වෙත දන්වා තිබේ.

විශේෂ ආරක්‍ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියලාල් දසනායක මහතා විසින් ඇමැති ආරක්‍ෂක කොට්ඨාසය, අධිකරණ ආරක්‍ෂක කොට්ඨාසය, විශ‍්‍රාමික ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසය සහ තානාපති ආරක්‍ෂක කොට්ඨාසය යන ආරක්‍ෂක කොට්ඨාසවල අධ්‍යක්‍ෂවරුන් වෙත මේ පිළිබඳව ලිපි මගින් දැනුවත් කර ඇත.

එසේම මෙම ප්‍රහාර පිළිබඳ ලංකා රජය මගින් නිල තොරතුරු වාර්තා කිරීමටත් පෙර ඉන්දියානු මාධ්‍ය සිදුවීම් වාර්තා කරමින් එයට සම්බන්ධ පුද්ගලයන් කිහිපදෙනෙකුද නම් කිරීමට හේතුව ඉන්දීය බුද්ධි අංශ මේ පිළිබඳ දැනසිටි බවට මාධ්‍ය හරහා මත පළවෙමින් තිබේ.

Sithara Sajeewani :