தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
පාර්ලිමේන්තුව ගිලී යාමට පෙර, පණ බේරාගන්නට කල් තිබේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තුව ගිලී යාමට පෙර, පණ බේරාගන්නට කල් තිබේ!



“ව්‍යවස්ථාවට ගරු කරනු! පාර්ලිමේන්තුව වහා කැදවනු!!“ යැයි කවුරුන් කීවත් අවසානයේ එක්කෝ ‘ඩොලර($) උල්පතෙන් නැතිනම් ‘යුවාන්'(¥) උල්පතින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කරවටක් නොව සපුරාම ගිලී යන්නට නියමිතය. හුස්ම ගන්නට, ජනතා නියෝජිතයන් ලෙස අවංකවම පණ බේරාගන්නට කැමති යමකුට වහාම පාර්ලිමේන්තුවෙන් පිටවන්නට දින කිහිපයක් වුවද අවකාශ තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කාගේ පැත්තේද යන්න තීරණය වන්නේ මුදල් වැඩියෙන් ගෙවන්නේ කවුරුන්ද යන කාරණය මතය. එක්සත් ජනපදය, ව්‍යවස්ථාව රකින ලෙස ජනාධිපති මෛත්‍රිපාලට තරවටු කරන්නේ ඉන්දිය සාගර කලාපයේ සිය භූ දේශපාලන අරමුනු මුල්කරගෙනය. නිසාකවම රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය ඇතුලු පක්ෂ හා කණ්ඩායම්, එක්සත් ජනපද-ඉන්දිය අධිරාජ්‍යවාදී බල අක්ෂය වෙතින් දේශපාලන හා මුල්‍යමය ශක්තිය පවත්වා ගනී. ඒ නිසා විකිණෙන මන්ත්‍රි කෑලිවලට ලන්සු තබන්නේ තානාපති කාර්යාල හරහා පොම්ප කරන ඩොලර්, පවුම් විලිනි. මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙළගැසෙන සියලු දෙනාගේ බරපැන උසුලන්නේ චීන තානාපති කාර්යාලය ඔස්සේ බව නොරහසකි. එක්සත් ජනපද-ඉන්දිය අරමුණුවලට පටහැනිව, “තීරයක්, මාවතක්“ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමේදී රාජපක්ෂ-සිරිසේන හවුල චීන යෝධයාගේ තේරීම වී ඇත.

සිකුරාදා (26) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිධුරයට දිවුරුම් දීමට පෙරාතුව ඒ සදහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීම පිණිස, එ.ජ.නි.ස. මන්ත්‍රි කණ්ඩායම අමතමින් හවුල් ආණ්ඩුවෙන් ඉවත්වීමට බලපෑ හේතු ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කරුණු කිහිපයක් දක්වා ඇත. ජනාධිපතිවරයා එයින් ප්‍රධාන කරුණක් ලෙස දක්වා ඇත්තේ තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවතීම සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු හවුල් ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වය එම තර්ජනය වැළැක්වීමට ක්‍රියා  නොකිරීමත් ඔවුන්ගෙන් ඇතැමුන් එම ඝාතන සැලැස්මට හවුල් බවට කරුණු අනාවරණයවීමත් බවය. ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ තමන් සමග ඇමති මණ්ඩලයේ සිටින අයකු ඝාතන ප්‍රයත්නයක යෙදී සිටියදී ආණ්ඩුවක කටයුතු කළ නොහැකි තැන මෙවැනි තීරණයක් ගන්නට සිදුවූ බවය.

කෙසේ වෙතත් ‘ලංකාවීව්ස්‘ වෙත විශේෂ අනාවරණයක් කරන මෛත්‍රි පාර්ශ්වයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ ජනාධිපතිවරයා විසින් දක්වන ලද වාසිදායක තත්වය තුළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමග ආණ්ඩුවක් පිහිටුවන්නට එකගතාව පළ කර තිබිණි. හවුල් ආණ්ඩුවේ සිටියදීම එම සහයෝගය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් ඔවුන්ට පවසා ඇති නමුත් හවුල් ආණ්ඩුව පරාජිත තත්වයකට ඇද වැටෙමින් පවතින බැවින් ඉක්මනින් වෙනසක් කරන්නට අවශ්‍ය බව ඔවුන්ගේ යෝජනාව වී තිබේ. අලුත් ආණ්ඩුවක් ශක්තිමත්ව පිහිටුවන්නට ශ්‍රිල.නි.ප. සහාය ලබාගත හැකි නම් සහ දැනට පවතින ඇමතිධුර වෙනස් නොවන්නේ නම් තමන් නිසැකවම පැමිණෙන බවට එම එ.ජා.ප. මන්ත්‍රිවරු ජනාධිපතිවරයාට පවසා තිබේ.

අනාවරණයවන ආකාරයට පසුගියදා එස්.බී.දිසානායකගේ මැදිහත්වීමෙන් ජනාධිපතිවරයා කළ සාකච්ඡාවේදී තමන් ශ්‍රි ල.නි.ප. සභාපතිවරයා ලෙස හිමිකරගෙන ඇති බලයට අමතරව එ.ජා.ප. පිරිසකගේද සහාය ලබාගෙන සිටින බව හිටපු ජනාධිපතිවරයා සමග පවසා ඇත. එය ප්‍රකාශ කිරීමෙන් අදහස් වන්නේ හිටපු ජනාධිපතිවරයා සමග එක්ව ඔහුගේ බලයට නතුව කටයුතු කිරීමෙන් ඇතිවියහැකි අවමන්සහගත තත්වය වෙනුවට තමන් ශක්තිමත් ලෙස හවුල් බලයක් පිහිටුවන්නට සූදානම් බවය. මෙම පසුබිම තුළ ජනාධිපතිවරණයකදී අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අභියෝගය පිළිබද ගැටලුවක සිටි හිටපු ජනාධිපතිවරයා තමන්ගේ අර්බුදයට ගැලවීමේ මාර්ගයක් ඇතැයි ගණන් බලා තිබේ. එහෙත් සිකුරාදා දින දිවුරුමෙන් පසුව ඇත්ත වශයෙන්ම එ.ජා.ප.යෙන් පැමිණෙන පිරිස 20ක් තරම් විශාල නොවන බවට කරුනු අනාවරනය වීමෙන් පසුව මුදලට මන්ත්‍රිවරුන් බිලිබාගැනීමේ ඉමකට රාජපක්ෂ කල්ලිය තල්ලු වී ඇති බවය.

හවුල් ආණ්ඩුවේ සිටියදී ජනාධිපතිවරයා උත්සාහ කළේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්වයට වඩා තමන්ගේ ආරම්භය සහ වඩා වාසිදායක අන්තය ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම වාසිදායක ලෙස කළමනාකරණය කරගෙන ඉදිරි ජනාධිපතිවරණයට යාම කෙරෙහිය. එහෙත් ඍජු ලෙස රාජපක්ෂ කණ්ඩායම මග එක්වීමෙන් ජනාධිපතිවරණයකදී උතුරේ සහ නැගෙනහිර ඡන්ද ඇතුළුව සුලුතර ජාතික ප්‍රජාවන්ගේ ඡන්ද අහිමිවන්නට ඉඩ තිබෙන බව ජනාධිපතිවරයා ගණන් බලා තිබිණි. මේ නිසා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් බරපතළ අර්බුදයකට ගොදුරු වී සිටී.

මේ අතරම, අගමැතිධුරයට පාර්ලිමේන්තුවේ විශ්විසය දිනාගත් පුද්ගලයා සම්බන්ධ යෝජනාවකින් හෝ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගය වැනි ක්‍රමයකින් තමන්ට වැරදුනු බලය ඒකරාශි කරගැනීමේ පියවරකට යන්නට එ.ජා.ප. උත්සාහ ගන්නට ඉඩ තිබේ. එසේවුවද පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ අයවැයක් සම්බන්ධ ප්‍රමුඛතාවක් හිමවේ. ඒ නිසාම අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමෙන් එ.ජා.ප., ටී.එන්.ඒ. මන්ත්‍රි එකතුවක් හරහා වුවද එය පරාජය කරන්නට හැකියාව ඇත. උපක්‍රමිකව මහමැතිවරණයකට මාවත සකස් කරගැනීමටද ඒ තතුළින් නැවතවරක් ජනාධිපති මෛත්‍රිපාල ජනාධිපතිවරණයකට යාමේ ක්‍රියාමාර්ගය අවහිර කරවා මහමැතිවරණයක් ඉදිරියට ගැනීමටද මහින්ද රාජපක්ෂ කණ්ඩායම උත්සාහ ගනු ඇත.  එවැනි ආකාරයකින් ජනාධිපතිවරයා සතු අන්තිම තුරුම්පුව වන විධායක ජනාධිපතිධුරය තිබියදීම ආණ්ඩු බලය රාජපක්ෂ කණ්ඩායම වටා ඒකරාශි කරගැනීමේ ක්‍රියාදාමයක් ඉදිරියට යමින් තිබේ. පළාත් සභා මැතිවරණය ඉක්මනින් කැදවන්නට හැකියාව අවම වුවද එම මැතිවරණය පවා රාජපක්ෂ කණ්ඩායමට වාසිදායක ජයග්‍රාහී පෙළගැස්මක් සදහා මග පාදනු ඇත.

2015 අටවාගත් රනිල් – මෛත්‍රි හවුල් ආණ්ඩුව පරාජය කරමින් රාජපක්ෂ කණ්ඩායම දේශපාලන පොර පිටියේ ඉදිරියට පැමිණීමත් සමග නැවත වරක් මහින්ද-මෛත්‍රි හවුලක් ලෙස බලය කේවල් කිරීමේ තත්වයක් පවතෙී. එසේවුවද එම හවුල ද උනුන් අභිබවන්නට සහ රනිල් වික්‍රමසිංහ ඇතුලු ප්‍රතිවාදි දේශපාලන කණ්ඩායම් පරයා නැගී සිටින්නට බල අරගලයක යෙදීමට නියමිතය. මේ නිසා ඉදිරි දේශපාලන වර්ධනයන් කොහොමටත් ජනතාවට සමාජ, ආර්ථික වශයෙන් වියවුල් සහගත කාලයක් බවට පෙරලෙන්නට නියමිතය. ලංකාවේ ධනපති පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනා  අවසානයේ පාලක පන්තියේම බල පොරයේ කොටස්කරුවන් ලෙස පීඩිත ජනයාට කිසිදු ජයග්‍රහණයක් උදා නොකරන උනුන් අභිබැවීම පමණක් පැවැත්ම කරගන්නා සූදුවකට ඇද වැටී ඇත.

එහෙමනම්, අපි පාර්ලිමේන්තුව වර්ජනය කරමු? යැයි කිසිවකු යෝජනා කළ හැකිය. ධනපති දේශපාලනයේ එක් පොරපිටියක් ලෙස පාර්ලිමේන්තුව අධිනිශ්චය වී ඇත. ජනතාව වෙනුවෙන් වම අවුලුවන අරගල මහපාරේ මෙන්ම ධනපති පාර්ලිමෙනේතුවේද කළ හැකි යයි තවකකු යෝජනා කරනු ඇත. ඒ සියල්ලන්ම වටහාගත යුතු දේ නම් දැන් පවතින තත්වය වටහා ගත යුතු මෙන්ම අවශ්‍ය තත්වයද පරිකල්පනය කළ යුතු බවයි. එකක් අනෙකෙන් විස්ථාපනය කිරීමට වඩා යෝජනා රාශියක් සමග පාලකයන්ගේ දේශපාලන බල පොරයේ ‘අසිරිය‘ ජනතාවට පෙන්වා දීමත් එකී බලපොරයේ උගුලෙන් ඉවත්ව තමන්ගේ ගමනක් යාමත් ජනතා ව්‍යාපාරවලට වාසිදායකය.