Posted on 04.26.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වාරියපොල පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කර කළහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කළ හිමි නම රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට වාරියපොල වැඩබලන මහේස්ත්‍රාත් ධර්ම ශ්‍රී මනතුංග මහතා නියෝග කර තිබේ.
දැඩි ඇප කොන්දේසි මත මත හිමිනම මුදාහැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා නඩුවේ පාර්ශවකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සෑම ඉරිදාවකම වාරියපොල පොලිසියේ පෙනී සිටින ලෙසත් හිමිනමට දන්වා ඇත.
පසුගියදා ඇති වු මෙම සිදු වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිමි නම ඊයේ (25)උදෑසන නීතීඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් පොලිසියට බාරවීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මෙසේ ඇප නියම වූයේ වාරියපොල ප්‍රදේශයේම පන්සලක හිමි නමක වූ වඩුගෙදර සාරානන්ද හිමියන්ටය.
පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ නොයෙකුත් මාධ්‍ය මගින් මුදාහල වීඩියෝ සහ හඩපටි ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය පිළිබඳව රටම බලාසිටින බැවින් හිමිනමට ඇපලබා නොදෙන ලෙසයි. සිය සහෝදර නිලධාරියෙකු වෙනුවෙන් පොලිසිය කටයුතු කරන ආකාරය ලැජ්ජා සහගත බවද එම නීතිඥවරුන් පවසා ඇත.
මෙහිදී හිමිනම වෙනුවෙන් නීතීඥවරුන් පවසා ඇත්තේ පොලිස් පරීක්ෂකවරයාට කිසිදු ආකාරයක පහරදීමක් සිදුවී නැති බවත් සමාජ මාධ්‍ය සහ තවත් නාලිකාවන් කීපයක් මෙම සිද්ධිය වෙනතකට හැරවූ බවයි.
පොලිස් පරීක්ෂකවරයා මේ අවස්ථාව වනවිට අමාරුවේ වැටී ඇති බවත් ඔහුගේ රැකියාව බේරාගැනීමට නීති සහය ලබාගෙන ඇති බවත් හිමිනම වෙනුවෙන් පෙනීසිටි නීතීඥ දෙපල වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු දක්වමින් කියා ඇත.
සියලු කරුණු සැලකිල්ලට ගත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.
ඇප ලබා දීම සඳහා ස්වෙච්ඡාවෙන් පොලිසියට ඉදිරිපත් වීම, භික්ෂුවක් වීම සහ රටතුල පවතින වසංගත තත්වය යන කරුණු සැලකිල්ලට ගත් බව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝගය ලබාදෙමින් පවසා ඇත.
මෙම නඩුව නැවත අප්‍රේල් මස 29 දින කැදවීමට නියමිත අතර පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධව අධිකරණය වෙත වෙනම කරුණු දැක්වීමට නියමිත බව වාර්තා වේ.