Posted on 02.13.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු මන්නාරම සමූහ මිනිවල තුළින් හමුවීමෙන් අනතුරුව කාබන් පරීක්ෂණ වෙනුවෙන් සාම්පලවල වාර්තාව හෙට(14) ලැබීමට නියමිත බව මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කරයි.
සමූහ මිනිවල ආශ්‍රිතව කෙරෙන පරික්ෂණ 144 වන දිනට අද(13) සිදුකරන අතර, මිනිවළ තුළින් මිනිස් සිරුරු 315 ක අස්ථි කොටස් මතුකර ගැනීමට හැකිවි ඇත. මිනිස් සිරුරු 307 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර ළමුන් 26 දෙනෙකුට අයත් අස්ථි කොටස් ඒ අතරින් හදුනාගෙන ඇත.
සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කළ සාම්පල් හයක් ජනවාරි 23 වැනිදා ෆ්ලෝරිඩාවේ කාබන් නීර්ණ පරීක්ෂණාගාරයට යවන ලද අතර, ඒ සම්බන්ධ පරීක්ෂණ වාර්තාව හෙට(14) වන විට ලැබීමට නියමිතය. අදාළ කාබන් පරීක්ෂණ දත්ත පිළිබඳ වාර්තාව තමන් වෙත හා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලිඛිතව යොමු කරන ලෙසට අදාළ රසායනාගාර දැනුවත් කොට ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම සමූහ මිනිවලේ ඇති සිරුරුවලින් අනාවරණය වන්නේ ආරක්ෂක හමුදාවලින් කළ ඝාතනවල සාක්ෂ්‍ය බවට ඇතැම් පිරිස් චෝදනා කළ අතර ඒවා එල්ටීටීඊ පාලනය යටතේ ඝාතනය කළ පිරිසකගේ සිරුරු බවටද සැක කරනු ලැබේ. කාබන් කාල නිර්ණය අනුව මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල අවට ක්‍රියාකාරි වූ සන්නද්ධ අංශ කවුරුන්ද යන්න හදුනගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකිවනු ඇති බවට මානව හිමිකම් සම්බන්ධව ක්‍රියාකාරිවන නීතිඥයන් විසින් අදහස් පළ කර තිබිණි.