Posted on 12.19.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මන්නාරම සමූහ මිනී වළෙන් හමුවන සිය ගණනක් වූ මිනිස් ඇටසැකිලි යුද සමයේදී මන්නාරම ප්‍රදේශයෙන් අතුරුදහන් වූවන්ගේ මළ සිරුරු ලෙස අනුමාන කළ හැකි බව මන්නාරම අගරදගුරු එමානුවල් බර්නාඩ් පියතුමා පවසා තිබේ.
මන්නාරමේදී 16දා පැවති පූර්ව නත්තල් දේව මෙහෙයකදී මේ බව පවසා සිටි අගරදගුරුවරයා මේ පිළිබඳ ස්ථිර නිගමනයකට පැමිණ මිනිස් ඇටසැකිලි අයත් කාහටදැයි යන්න හඳුනාගැනීම බලධාරීන්ගේ වගකීම බවද පවසා ඇත.
යුද්ධ සමයේ පුද්ගලයන් අතුරුදහන් වූ වැසියන්ගේ පවුල්වල ඥාතීන් එදා සිට මේ දක්වා දැඩි ශෝකයෙන් යුක්තව ජීවත්වෙන බවත් මේ සමූහ මිනිවලේ සිටියේ තම ඥාතීන්ද යන්න ඉඳුරාම දැනගන්නේ නම් ඔවුන්ටත් ඔවුන්ගේ පවුල්වලටත් එය විශාල සහනයක් වනු ඇති බව පියතුමා වැඩිදුරටත් සඳහන් කර ඇත.
මන්නාරම මිනීවළ සම්බන්ධයෙන් දින 119 ක කාලයක් කැණීම් පරීක්ෂණ පවත්වා ඇති අතර, එයින් මිනිස් අස්ථි කොටස් 280 කට අදාළ අස්ථි විමර්ශන නිලධාරීන් විසින් හඳුනා ගෙන තිබේ. මන්නාරම සමූහ මිනීවළෙන් සොයා ගත් සෙසු අස්ථි කොටස්වල කාබන් පරීක්ෂාව සිදුකිරීම සඳහා එහි සාම්පල් ගැනීම ඊයේ (18) සිට ආරම්භ කර තිබුණි. මෙම අස්ථි සාම්පල ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමු කිරීමට නියමිත බවද පැවසේ.