Posted on 09.24.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අධිකරණ කටයුතුවලට බාධාවන අන්දමේ පුවත් පළ කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලද වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් ප්‍රකාශ කර තිබේ.
මෙම පැමිණිල්ල අද (24) කැඳවනු ලැබූ අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු අධිකරණය හමුවේ ඇප ඉල්ලීම් ඉදිරිපත් කළහ.
එම නීතිඥවරු සඳහන් කර සිටියේ තම සේවාදායකයා මේ වන විට දින විසිඑකක් පමණ රිමාන්ඩ් භාරයේ පසුවන බවත් පරීක්ෂණවලට උපරිම සහාය ලබාදී ඇති බවත් ය.
මෙම සැකකරුට එල්ලව තිබෙන චෝදනාව ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව ඇප දිය හැකි වරදක් බවද එම නීතිඥවරුන් අධිකරණය හමුවේ සිය ඇප ඉල්ලීම් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණි.
ඩෙස්මන් චතුරංග ද අල්විස්ට විරුද්ධ චෝදනා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111c යටතේ අධිකරණයේ කටයුතුවලට බලපෑම් සහගත පුවතක් පළ කිරීම සහ පරිඝනක අපරාධ පනතේ 06 වගන්තිය යටතේ ගැනෙන රටේ පොදු යහපතට විරුද්ධව කටයුතු කිරිම යන කරුණු යටතේ මාධ්‍යවේදියාට එරෙහිව චෝදනා ගොනුකරන්නට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර පවසා තිබුණි.
ඩෙස්මන්ඩ් චතුරංග ද අල්විස්, ‘ලංකා නිව්ස්වෙබ් ටුඩේ’ වෙබ් අඩවියේ සංස්කාරකවරයා වේ. ඊට අමතරව ඔහු සමගි ජන බලවේගයේ මාධ්‍ය කමිටු සාමාජිකයෙක් ද වේ.