Posted on 02.14.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මාන්කුලම් රෝහලේ යෝජිත නව වාට්ටු සංකීර්ණය ඉදිකිරීමේදී භූමියේ තිබී සොයාගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් කිලිනොච්චිය අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව ලැබෙනතෙක් කැණීම් නවතන ලද බව මාන්කුලම පොලිසිය පවසයි.
මුලතිව් මාන්කුලම රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් සකස් කිරීමට බිම සකස් කිරීමේදී අදාළ ස්ථානයේ තිබි අස්ථි කොටස් කිහිපයක් පසුගිය 11 වැනිදා පළමුවරට මතුවී තිබිණ. අදාළ ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහුගේ නියෝග මත ඊයේ (13) අංශ කිහිපයක් කැණීම් කළ අතර එහිදී තවත් අස්ථි කොටස් කිහිපයක් හමුවූ බව පොලිසිය පවසයි. එහිදී දිරාගිය ඇඳුම් කොටස්, යකඩ කැබලි කිහිපයක් හා පතරොම් සොයාගත් නමුත් සිරුරු කොපමණකට අයත් අස්ථි හමුවූවාද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් පොලිසිය කියයි.
මුලතිව් මහේස්ත්රාත්වරයාගේ නියෝග මත කිලිනොච්චිය අධිකරණ වෛද්‍ය නිලධාරී, බෝම්බ නිශ්ක්‍රීය අංශ, පුරාවිද්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහභාගීත්වයෙන් අදාළ ස්ථානයේ කැනීම් කරනු ලැබීය. හමුවූ අස්ථිකොටස් හා ඇඳුම් සම්බන්ධයෙන් කිලිනොච්චිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ අනුව ඉදිරි කැණීම් කටයුතු සිදුකරනවාද නොකරනවාද යන්න තීරණය කරනු ඇත.