Posted on 04.13.2021 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments
මියන්මාරයේ මිලිටරි පාලනය විසින් එරට ජනතාවට තොරතුරු වසන් කිරීමේ හා අන්තර්ජාලය අවහිර කිරීම නිසා ප්රජාතන්ත්රවිරෝධී බලහත්කාරයට හා මර්දනයට එරෙහිව සටන් කරන තරුණ කණ්ඩායම් විකල්ප ප්‍රකාශන බෙදාහැරීම අරඹා ඇත.
මේ වනවිට ප්‍රකාශන කිහිපයක් තරුණ විරෝධතා කණ්ඩායම් අතර භාවිතයට ගැනෙන අතර දින 56 ක් තිස්සේ මියන්මාරයේ හමුදා කුමන්ත්රණයේ පාලනයට යටත් වීමෙන් පසුව අන්තර්ජාල අවහිර කිරීම හා තොරතුරු වසන් කිරීම විනිවිද යමින් ජනතාව අතර විරෝධය අවුළුවාලන සන්නිවේදන ක්රමයක බිහිවීම අවම මට්ටමේ තාක්ෂනයෙන් පළ කෙරෙන මුද්‍රිත ප්‍රකාශන හරහා සිදුවී තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායක අවුන් සාන් සූ කී පෙබරවාරි 1 වන දා කුමන්ත්රණයකින් නෙරපා හරිනු ලැබූ දා සිට රට නොසන්සුන්කාරී තත්වයකට පත්ව මහජන නැගිටීමක් ඇති විය. ඊට ප්‍රතිචාර ලෙස ආරක්ෂක හමුදාවල මර්දනය හේතුවෙන් දරුවන් ඇතුළු සිවිල් වැසියන් 700 කට අධික සංඛ්‍යාවක් මරාදැමීම සිදුවිය.
මේ තත්වය හමුවේ තොරතුරු අනාවරණය කරමින් හමුදා පාලනයේ කෘරත්වය හා විරෝධතා සංවිධානය කිරීමේ සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ලින් තාන්ට් යන ආරූඪ නමින් හඳුන්වා ගත් තිස් හැවිරිදි තරුණයකු විකල්ප පුවත්පතක් රහසිගතව ආරම්භ කළ අතර, හමුදා පාලනයට අභියෝග කරන යෞවනයන්ට වඩා ගැලපෙන ලෙස ඊට ‘මොලොටොව්’ යන නම තැබීය. (සිවිල් අරගලවලදී බෝතල් යොදාගෙන සාදා ගන්නා බෝම්බ මේ නමින් හඳුන්වයි)
මෙම ප්රකාශනය මේ වන විට ෆේස්බුක් භාවිත කරන්නන් ලෙස මිතුරු කණ්ඩායම්වල සිටි 30,000 කට අධික පිරිසක් හරහා හුවමාරු වී ඇති අතර විරෝධතාකරුවන්ගේ ප්රමුඛ කණ්ඩායමක් ලෙස සැලකෙන generation Z ප්‍රජා කණ්ඩායම් අතර මෙම විකල්ප ප්‍රකාශන වැඩි වශයෙන් ජනප්‍රිය වෙමින් තිබේ.
කුමන්ත්රණයෙන් පසු විරෝධය දැක්වීම ආදි හේතු මත සිවිල් වැසියන් 3,000 කට අධික පිරිසක් පොලීසිය සහ සොල්දාදුවන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව දේශපාලන සිරකරුවන් සම්බන්ධ නිරීක්ෂණ කණ්ඩායම පවසයි.
නළු නිළියන්, ගායකයන් සහ සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් මෙන්ම මියන්මාරයේ කීර්තිමත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලැයිස්තුවට ඇතුළත්ය. එරට නීතිය අනුව, හමුදාවට එරෙහිව මත පතුරුවා හැරීමේ චෝදනාවට වරදකරු වුවහොත් වසර තුනක සිර දඬුවමක් නියම විය හැකිය.
2011 දී ප්රජාතන්ත්රවාදී නියෝජිතයන් තේරීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකවීමට පෙර මියන්මාරය වසර 49 ක් හමුදා පාලනය යටතේ පැවතියේය. විකල්ප ප්‍රකාශන සම්බන්ධ ඉතිහාසයක් එරට ගොඩ නැගෙන්නේද එකී මර්දනකාරි පාලනය තුළය.

