Posted on 09.14.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
බන්ධනාගාර රාජ්‍ය ඇමතිවරයා පසුගිය 12 වනදා රාත්‍රියේ අනුරාධපුර බන්ධනාගාරයට ද ගොස් ප්රචණ්ඩ අයුරින් කටයුතු කර ඇති බව ඉලංකෙයි තමිල් කොංග්රස් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. ජී. පොන්නම්බලම් පවසා තිබේ.
ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු හෙලිකොප්ටරයකින් අනුරාධපුරයට පැමිණ අනුරාධපුර බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර ද පවසා ඇත.
එහිදී LTTE සැකකරුවන් රඳවා ඇති වාට්ටුව වෙත ගිය ඔහු එහි රඳවා සිටින සැකකරුවන් 08දෙනා අතුරින් සැකකරුවන් දෙදෙනෙකු පිටතට ගෙන දණගස්වා ඔවුන්ගේ හිසට ගිනිඅවියක් තබා තර්ජනය කර ඇති බවත් වාර්තා වේ.
එසේම ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා 12වනදා සවස් කාලයේ වැලිකඩ බන්ධනාගාරයට සිය මිතුරන් කිහිපදෙනෙකු සමඟ ඇතුළුවී ‘එල්ලුම්ගස’ ඇති ස්ථානය අසලට ගොස් තිබේ.
මෙහිදී ගිනිඅවියක් ද අතැතිව ආරක්ෂකයින් පිරිවරා කොට කලිසමකින් සැරසී බන්ධනාගාරයට ඇතුළුවූ ඔහු අධික ලෙස බීමතින් සිට තිබේ.
කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබදව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායකගෙන් විමසා ඇතත් ඔහු මේ පිළිබදව කිසිවක් නොදන්නා බව පවසා ඇති අතර පසුව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසා සිටියේ අදාළ දිනයේදී විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා තම කාර්යමණ්ඩලයේ පිරිසක් සමග වැලිකඩ බන්ධනාගාරයට පැමිණ සිරකරුවන් සමග ඔවුන්ගේ සමාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් විෂයභාර ඇමතිවරයාට ඕනෑම අවස්ථාවක සිරකරුවන් හමුවී සාකච්ඡා කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවත් ය.