Posted on 02.13.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
දෛනික මූලික වැටුප රු.1000 දක්වා වැඩි කිරීම සම්බන්ධව වතු කම්කරුවන්ගේ අරගල ව්‍යාප්ත වෙමින් තිබියදදී ඒ සම්බන්ධව ආණ්ඩුව සාකච්ඡා පවත්වමින් කල් අදිමින් සිටින බව වතුකම්කරු මධ්‍යස්ථානය චෝදනා කරයි.
වතු කම්කරු වැටුප් වැඩිකිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පෙබරවාරි 12 දින වැවිලි කර්මාන්ත අැමති නවින් දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව සම්බන්ධ අදහස් දක්වමින් වතු කම්කරු මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු ‘ලංකාවිව්ස්’ වෙත මේ බව පැවසීය. වතු යටිතලපහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්වූ අදාළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ප්‍රසිද්ධ නොකිරීමට ආණ්ඩුව විසින් වග බලාගෙන ඇති බව වතු කම්කරු මධ්‍යස්ථානය පෙන්වා දෙයි. මෙම සාකච්ඡාව තුළ වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් හා ඉල්ලීම් පාවාදුන් වෘත්තිය සමිති නායකයන් තමන්ගේ ග්‍රහණයෙන් වතු කම්කරුවන් ගිලිහී යමින් රු. 1000 ඉල්ලීම ඉදිරියට ගෙනයාම ගැටලුවක් ලෙස ඇමතිවරයාට කරුණු දක්වා ඇත. මේ තත්වය තුළ වැඩ වර්ජන රැල්ලක් ඇති වුවහොත් වතු සමාගම්වල පාඩුව තවත් උත්සන්න විය හැකි බවද ඒ නිසා කුමන හෝ ආකාරයකින් එකගවූ රු. 700ට වැඩි දෛනික වැටුපකට යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවය. මේ ආකාරයට රු. 1000 ඉල්ලීම මුල්කරගෙන කම්කරු අරගල පැන නැගීම වළකාලීමේ අවශ්‍යතාවක් ඇති බවද එහිදී වතු සමාගම්වල සහන සලසා හෝ ආණ්ඩුවේ මැදිහත්වීමෙන් යම් ඉක්මන් පියවරක් ගත යුතුව ඇති බවද වතු වෘත්තිය සමිති නායකයන් අවධාරනය කළ බව දැනගන්නට ඇත. මෙම අවස්ථාවට රවීන්ද්‍ර සමරවීර, පලනි දිගම්බරම්, වී එස් රාධක්‍රිශ්නා, මනෝ ගනේෂන්, තිලකරාජ් යන මැති ඇමතිවරුන්ද සහභාගි වූහ.
ජනවාරි 28 වැනිදා අත්සන් කළ සාමුහික ගිවිසුමට එම වෘත්තිය සමිති නායකයන් අත්සන් කිරීම නිසා වතු කම්කරුවෝ කෝපයට පත්ව කම්කරු නායකයන්ගේ පඹයන් සාදා ගිනිතබමින් විරෝධතා දැක්වූහ. කෙසේවෙතත් රු. 700ට වැඩියෙන් දෛනික මූලික වැටුපක් ගෙවීමේ හැකියාවක් නැති බව වතු සමාගම් විසින් කරුණු දක්වා ඇත. එහිදී ඇතැම් වෘත්තිය සමිති ඉල්ලා සිටියේ වතු සමාගම්වලට රු. 1000 ලබා දිය නොහැකි නම් ඉතිරි මුදල ආණ්ඩුවේ සහනාධාරයක් ලෙස හෝ වැටුපට එකතු කළ යුතු බවය. එහෙත් වතු කම්කරුවන්ගේ ශ්‍රමය යොදවා වතු සමාගම් රුපියල් බිලියන ගණනින් වාර්ෂික ලාභ උපයන තත්වයක් තුළ ආණ්ඩුවේ සහන ලෙස වැටුප් ගෙවීමෙන් කම්කරුවන් මෙන්ම සමස්ත බදු ගෙවන ජනතාව බව වතු කම්කරු මධ්‍යස්ථානය පෙන්වා දෙයි. ‘1000 ව්‍යාපාරය’ වශයෙන් තම අරගලයට එක්ව සිටින සියලු වෘත්තිය සමිති, ප්‍රගතිශීලි බලවේග රු. 1000ක දෛනික වැටුපක් වතු කම්කරු ජනයාට ලබාදීමට වතු සමාගම්වලට බලකර සිටින බවද එසේ නෙහැකි නම් වතු කම්කරුවන් පවසන ආකාරයට එවැනි සමාගම් වතු ක්ෂේත්‍රයේ ලාභ ඉපදවීමෙන් ඉවත්ව යායුතු බවද ‘1000 ව්‍යාපාරය’ නියෝජනය කරන වතු සේවක වෘත්තිය සමිති ක්‍රියාකාරිහු පෙන්වා දෙති.