Posted on 02.04.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වතුකම්කරුවන්ගේ ජීවිතය වහල්භාවයේ තබා ගනිමින් පවතින වත්මන් සේවා ක්‍රමය වෙනස් කිරීමටත් ඔවුන්ගේ ආර්ථික යුක්තිය සමානාත්මතාවය සහ සූරාකෑමෙන් තොර පූර්ණ නිදහස දිනා ගැනීමටත් වතු ජනතාව වෙනුවෙන් අඛණ්ඩව සටන් වදින බවට වතුකම්කරු මධ්‍යස්ථානය සිය පළමුවැනි සමුලුවෙන් යෝජනා සම්මත කරයි.
පසුගිය කාලයේ වතු කම්කරු ජනතාවගේ ජීවන තත්වය වෙනස් කිරීම වෙනුවෙන්, සාකච්ඡා, සම්මන්ත්‍රණ, විරෝධතා, පත්‍රිකා බෙදීම්, පාගමන්, උපවාස හා කලා උළෙල වැනි විවිධ ක්‍රම ඔස්සේ සටන් කළ වතු කම්කරු මධ්‍යස්ථානය වතු කම්කරුවන්ගේ සටන්කාමී අරගලයේ තීරනාත්මක පියවරක් ලෙස දෛනික මූලික වැටුප රු.1000 ඉල්ලීමේ පියවර තැබුවේ මීට වසර කිහිපයකට පෙරය. අදවන විට රටපුරා ජනතාවගේ සහාය ඇතිව එම අරගලයට සමස්. වැඩකරන ජනයාගේ සහයෝගයද සමස්ත සමාජයේ අවධානයද යොමුවී ඇත. වතු කම්කරු මධ්‍යස්ථානයේ පළමුවැනි සමුලුව බණ්ඩාරවෙල හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේදී අද(4) පෙරවරු 10.00ට ආරම්භ විය.
එහිදී වතු කම්කරු ජනතාවට ඉඩමක, නිවසක මෙන්ම පුද්ගලික ලිපිනයක හිමිකම ලබාදීම සඳහා ගම්මාන ඉදිකර ඒවායේ ඔවුන් පදිංචි කිරීමට වහාම කටයුතු කරන ලෙසත්, ඔවුන් ගේ පූර්ණ පුරවැසි අයිතිවාසිකම් වහාම ස්ථාපිත කරන ලෙසත්, රජයට බලකර සිටීමට යෝජනා සම්මත කෙරිණි.
තවද දිනක මූලික වැටුප 1000 ක් කරන ලෙස, වතුකම්කරුවන් අරගල කරමින් සිටියදී ඇතැම් වෘත්තිය සමිති විසින් දිනක මූලික වැටුප රු. 700ට සාමූහික ගිවිසුමකට එළඹීම හෙළා දකිමින් ඊට අත්සන් තැබූ වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින ලදී. එසේම වතුකම්කරුවන් සඳහා රු. 1000 ක මූලික වැටුපක් ලබාදීමටත්, ස්ථිර මාසික වැටුප් ක‍්‍රමයක් ඔවුන් සඳහා ඇති කිරීමටත්, කටයුතු කරන ලෙස රජයටද බලකරන බවද ඉදිරියේදී ඒ සදහා ක්‍රියාමාර්ග ගන්නා බවද වතු කම්කරු මධ්‍යස්ථානයේ නියෝජිතයෝ කියා සිටියහ.
එවැනි වතු කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් දිනාගැනීම සඳහාත් ස්ථිර මාසික වැටුපක් දිනාගැනීම සඳහාත්, වෘත්තීය සමිති පක්ෂ බේදයකින් තොරව වතු ආශ්‍රිතව පොදු සමිති ගොඩ නැගීමට වතු කම්කරුවන් වෙත ආරාධනා කරන ලදී.