Posted on 03.02.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ ක්‍රියාත්මක වන පිළිගත් විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට පැවැත්වු තරග විභාග ක්‍රමය අහෝසි කරමින් ඒ වෙනුවට සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක් හරහා විදුහල්පතිවරුන් තෝරාගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.
දේශපාලන හිතවත්කම් අනුව, විදුහල්පති තනතුරු ලබාදීම වැලැක්වීමේ පියවර ලෙස විදුහල්පති සේවය පිහිටුවීමේදී මෙවැනි විධිමත් ක්‍රමවේද හඳුන්වා දී ඇත. නමුත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තරඟ විභාග සඳහා කාලයක් ගත වන බවට හේතු දක්වමින් ඇමතිවරු මෙම තීරණය ගෙන ඇත.
දැනට දීර්ඝ කාලයක් ගුරු සේවයේ සුදුසුකම් ලත් අයට සහ සේවා ව්‍යවස්ථාවට අනුව සුදුසුකම් සපුරන ගුරු සේවයේ අනෙකුත් පිරිසට ද විදුහල්පති සේවයේ III ශ්‍රේණියේ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන ලෙස ප්‍රසිද්ධ කළ හැකි බව ඇමති මණ්ඩලය විසින් කරුණු දක්වා ඇත.
මේ වනවිට ආණ්ඩුව විසින් අධ්‍යාපන ප්‍රතිපාදන කපා දැමීමත් විවිධ අතපසුකිරීම් හේතුවෙනුත් විදුහල්පති සේවයේ I, II හා III ශ්‍රේණි සඳහා පුරප්පාඩු 4,600ක් පවතී. මෙම තත්වය නිසා පාසල් පරිපාලනය අධයාපන කාර්යයන්ට ප්‍රමුඛතාව දිය යුතු ගුරුවරුන්ට මහත් බරක්ව පවතින අතර අධ්‍යාපන කටයුතු නියාමනය දුර්වල වී සියලු අඩුපාඩුගුරුවරුන්, පාසල් දරුවන් හා මව්පියන් කරමත පැටවී ඇත.
කෙසේවෙතත් ආණ්ඩුව දැන් සූදානම් වන්නේ සුදුසුකම් වෙනුවට දේශපාලන හිතවත්කම් අනුව, විදුහල්පති තනතුරු උසස්කිරීමට බව ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති චෝදනා කරයි.