Posted on 12.14.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව්දෙනකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එහි හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු සාමාජිකයින් තුන්දෙනෙකු විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම අද (14) අභියාචනාධිකරණ හමුවේ කැඳවුණු අතර එහිදී පෙත්සම පිළිබඳ වැඩිදූර සලකා බැලීම ලබන සිකුරාදා (18 ) තෙක් කල් දමා තිබේ.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ පවසා ඇත්තේ වෛද්‍ය ආඥා පනතට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින්ගේ සේවය අත්හිටුවීමට හෝ ඉවත් කිරීම සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරියට බලය පැවරී තිබෙන බවත් , එය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ නොහැකි බවය.
එමෙන්ම පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් කරුණු සැඟවීමට සහ අධිකරණය නොමඟ යවන සුළු කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ පවසා ඇත.
ඒබැවින් මෙම පෙත්සම විභාග කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති හෙයින් නොතීසි නිකුත් කිරීමකින් තොරව එය නිෂ්ප්‍රභ කරන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ සභාපතිවරයා ප්රමුඛ විනිසුරු මඩුල්ල පෙත්සම පිළිබඳ වැඩිදූර සලකා බැලීම ලබන සිකුරාදා (18 ) තෙක් කල් තැබීමට නියම කර ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, මහාචාර්ය නාරද වර්ණසූරිය ඇතුළු වෛද්‍ය සභාවේ සාමාජිකයන් පස් දෙනෙක් පසුගිය නොවැම්බර් 20 දා සිට නෙරපා හැරීමට සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි කටයුතු කර තිබුණි. වෛද්‍ය සභාවේ සාමාජිකයන් ඉවත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරියට බලයක් නොමැති නිසා තම සාමාජිකත්වයෙන් ඉවත් කිරීම වෛද්‍ය සභා ආඥා පනත උල්ලංඝණය කිරීමක් බව හිටපු සභාපතිවරයා ඇතුළු පිරිස චෝදනා කර සිටියි.