Posted on 07.30.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන සරණ ගුණවර්ධනට එරෙහිව පැවති අල්ලස් හා දූෂණ චෝදනා සහිත නඩු 8කින් ඔහු නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද(30) තීරණයකර ඇත.
මෙසේ නඩු පවරා තිබුණේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයා, 2007 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබාගෙන රජයට පාඩු කර දූෂණය නැමැති වරද සිදු කළ බවට චෝදනා නගමිනි.
තාක්ෂණික දෝෂයක් මත එම නඩු තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි බැවින් මෙම නඩු ඉල්ලා අස්කර ගන්නා බවට අල්ලස් කොමිසම අධිකරණයට කළ දැනුම්දීමකට අනුව එම චූදිත නිදහස් කිරීමට අධිකරණය එලෙස නියෝග කළේය .
අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි සහකාර අධ්යක්ෂ ජනරාල් අසිත ඇන්තනි විසින් කරුණු දක්වා ඇති ආකාරයට මෙම නඩු ගොනුකිරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනෙකුගේ ලිඛිත විධානය ඉදිරිපත් වී නොමැති හෙයින් එය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුවී ඇත.
එහිදී මෙම නඩුවේ චූදිත සරණ ගුණවර්ධන වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ මෙම නඩු කෘත්‍යයන් පවත්වාගෙන යාමට අපහසු නම් තම සේවාදායකයා නඩුවලින් නිදහස් කරන ලෙසය. අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩු අටකින් චූදිත නිදහස් කරන ලෙස නියෝග කළේය.