ඇල්ජීරියානු ශිෂ්‍යයෝ ජනාධිපතිවරයාට විරෝධය පළ කරති!

ඇලිජියර්ස් අගනුවර මධ්‍යයට රැස් වූ ඇල්ජීරියානු සිසුන් විශාල පිරිසක් ජනාධිපති ඇබ්දෙලාසිස් බුටෆියේකාට එරෙහිව විරෝධතාවල නිරත වූහ.

ජනතා අප්‍රසාදය හමුවේ තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව පැවැසීමෙන් අනතුරුවද ජනාධිපතිවරයාට එරෙහිව මෙලෙස විරෝධතා පැවැත්වීණි. අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඇල්ජීරියානු ජනාධිපතිවරණය කල්දැමීමට ජනාධිපති ඇබ්දෙලාසිස් බුටෆියේකා තීරණය කළ අතර තමන් එම මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් නිවේදනය කළේය. අගනගරයේ විරෝධතාවල නිරත තරුණ සිසුන් පවසන්නේ රටේ පවතින මහලු දේශපාලන වෙනස්වීමට කාලය එළෙඹ ඇති බවය. තරුණ නායකත්වයකට ඉඩදිය යුතු බවත්, තරුණ දේශපාලනඥයන්ට අවස්ථාව දියයුතු බවත් විරෝධතාකරුන් විසින් අවධාරණය කළ බව විදේසා වාර්තා පවසයි.

වසර 20ක කාලයක් තිස්සේ පැවැති  බුටෆියේකා පාලනය අවසන් කරන්නැයි ඉල්ලා ජනතාව මාසයක පමණ කාලයක් තිස්සේ විරෝධතාවල නිරතවූහ. 2010 අරාබි වසන්තයේ විරෝධතාවලට ඇල්ජීරියානු ජනතාවද සම්බන්ධ වූ අතර 2011 පෙබරවාරියේදී අවුරුදු 19ක් පැවති හදිසි නීතිය අහෝසි කිරීමට ජනාධිපති ඇබ්දෙලාසිස් බුටෆියේකා ජනාධිපතිවරයාට සිදුවිය. ජනතා විරෝධය සමනය කිරීමට තවදුරටත් ප්‍රතිසංස්කරණ ගෙන එන බව පොරොන්දු වුවද එය කිසිදා ඉටු නොකරන ලදී. මැතිවරණයට ඉදිරිපත් නොවූවත් ජනාධිපති ධූරයෙන් ඉවත්වීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා තවමත් ප්‍රකාශ කර නැත.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ තීන්දුව ඇසූ ජනතාව වීදි බැස ප්‍රීති ඝෝෂා පවත්වන ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
 

Chandana Sirimalwatte :