මාධ්‍යවේදී ජමාල් ඛෂොගි ඝාතනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එම ඝාතනයේ වරදකරුවන්ට දඩුවම් දෙන ලෙස ඉල්ලා ලංකාවේ මාධ්‍ය සංවිධාන සාමුහික විරෝධයක් ප්‍රකාශ කර ඇත.
සමස්තයක් ලෙස සෞදි අරාබිය ඇතුළු මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශනයේ අයිතිය සහ තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි කළ රටවලට විරෝධය පළකරමින් මෙම විරෝධතා ප්‍රකාශය නිකුත්කර ඇත්තේ ශ්‍රීලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මුස්ලිම් මාධ්‍ය සංසදය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය සහ අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිකයෝ යන සංවිධාන විසිනි.
මාධ්‍ය සංවිධාන වෙනුවෙන් ශ්‍රීලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් විසින් අත්සන් කර ඇති අදාළ මාධ්‍ය නිවේදනය මෙසේය.
මාධ්‍යවේදී ජමාල් කෂෝග්ගි ඝාතනය පිළිකුලෙන් යුතුව හෙළා දකිමු
තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේ දී සෞදි මාධ්‍යවේදී ජමාල් කෂොග්ගි ඝාතනය අපි පිළිකුලෙන් යුතුව හෙළි දකින අතර ඊට දැඩි විරෝධය ද පළ කරන්නෙමු.
ඉස්තානුබුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගිය අවස්ථාවේ දී කෂෝග්ගි අතුරුදන් වූයේ ඔක්තෝබර් 02 වැනිදා ය. එහෙත් ඔක්තෝබර් 19 දක්වා සති දෙකක කාලයකට වැඩි කාලයක් එම අපරාධය වසන් කිරීමට සෞදි බලධාරීන් කටයුතු කර තිබේ.
මාධ්‍යවේදී කෂෝග්ගිගේ මරණය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වූයේ ඔහු විසින් දැඩි ලෙස විවේචනයට ලක් වූ සෞදි රජ පවුලේම සාමාජිකයකු වන සෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මන් වෙතය.
කෂොග්ගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි පාලනයේ සම්බන්ධයක් ඇති බව තුර්කි බලධාරින් විසින් සාධක ඇතිව ඉදිරිපත් කර තිබියදීත් සෞදි පාලනය විසින් එම චෝදනා මගහැර වෙනත් කරුණු හුවා දක්වන්නට උත්සාහ දරණ බව අපගේ දැඩි අවධානයට ලක්විය යුතුය.
මාධ්‍යවේදී කෂෝග්ගිගේ ඝාතනය සිදුවූ ආකාරය හා ඔහුගේ සිරුරට සිදුවූයේ කුමක් ද යන්න තවමත් අභිරහසකි. මෙකී තත්ත්වය සමස්ත ලෝකයේම මාධ්‍ය වෙත එල්ල වී ඇති දරුණු ගණයේ මර්දනයට කදිම නිදසුනකි.
ලොව සෑම රටකම ජනමාධ්‍ය සමාජ මෙම තත්ත්වයට එරෙහිව දැඩි හඩක් නැගිය යුතු බව අපගේ අදහසය. ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට මෙවැනි සිදුවීම් හරහා එල්ල වන්නේ දරුණු අභියෝගයකි. විවේචන ඉවසිය නොහැකි පාලකයන් හමුවේ ජනමාධ්‍ය සමාජය අනතුරුදායක බව අප රටේ ඉතිහාසය ද සාක්ෂි සපයා තිබේ.
ශ්‍රී ලංකාවේ ඝාතනය වූ සහ අතුරුදන් කළ, පහරකෑම්වලට ලක් වූ ජනමාධ්‍යවේදීන්ට තවමත් සාධාරණයක් ඉටු වී නොමැති පරිසරයක මෙවැනි සිදුවීම් අප රටේ ජනමාධ්‍ය සමාජ සසල කරන්නකි.
සෞදිය කෂෝග්ගි ඝාතනය පිළිගනිමින් නිල නිවේදනයක් නිකුත් කර ඇත. එහෙත් සෞදිය සත්‍ය වසන් කිරීමට එම නිවේදනය නිකුත් කළ බවට ද චෝදනා එල්ල වෙමින් තිබේ.
ලංකාවේ මාධ්‍ය සංවිධාන ලෙස අපි ඉල්ලා සිටිනුයේ මාධ්‍යවේදී කෂොග්ගි ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික විශේෂඥයන්ගෙන් සැදුම්ලත් ස්වාධීන මණ්ඩලයක් හරහා විමර්ශනයක් සිදුකර ඝාතකයන් සහ ඊට අනුබල දුන් පිරිස් නීතිය ඉදිරියට පමුණුවන ලෙසත් ඝාතනයට ලක් වූ මාධ්‍යවේදියාට යුක්තිය ඉටුකරන ලෙසත්ය. එසේම සෞදි අරාබිය ඇතුළු මාධ්‍ය නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි කර ඇති රටවල් සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින්, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරන ලෙසත් ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් තහවුරු කරන ලෙසත් හඩ නගන්නට ලංකාවේ මාධ්‍යවේදීන් නියෝජනය කරන මාධ්‍යවේදී සංවිධාන ලෙස අපි, ලොව පුරා සියලුම මාධ්‍ය වේදීන් සහ මාධ්‍ය සංවිධාන සමඟ එක්වන බව මෙහිදී අවධාරණය කරමු.
දුමින්ද සම්පත් (0773181731) සභාපති – ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය(SLWJA)
සී. දොඩාවත්ත ( 0777270063) කැදවුම්කරු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය(FMM)
එන්. එම්. අමීන් (0772612288) සභාපති – මුස්ලිම් මාධ්‍ය සංසදය(SLMMF)
ධර්මසිරි ලංකාපේලි (0773641111) ප්‍රධාන ලේකම් – මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය(FMETU)
චන්දන සිරිමල්වත්ත(0714819791) කැදවුම්කරු – ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය(MMD)
සම්පත් සමරකෝන්(0777248304) කැදවුම්කරු – අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය(IMA)
2018 ඔක්තෝබර් 28