සිරගතකොට සිටින ශිෂ්‍ය නායකයන්ට දැනට නගා ඇති චෝදනා ඔවුන් ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාරය දුර්වල කිරීමට සමත් නොවන බැවින් නව චෝදනා මත නඩු කිහිපයක් පවරන සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව නීති ක්ෂේත්‍රයට අයත් මූලාශ්‍රයක් හෙලිකරයි.
දැනට සිරගත කොට සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර, අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද, ෆයිස්දීන් ෆයිසාන් අහමඩ්, දිනේශ් මධුරංග, ඉසුරු චින්තක සහ දිමුතු ලක්ෂාන් යන සිසුන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ මහජන දේපළවලට අලාභ හානි කිරීම සම්බන්ධයෙනි. එහෙත් මම ශිෂ්‍ය ක්‍රියාකාරින්ට එරෙහිව වඩා බරපතළ චෝදනා නගා ඒවා සනාථ කිරිමට හැකි කිසියම් සාධක ඇත්දැයි සොයා බැලිය යුතු බව ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව කෝන්තර සහිතව කටයුතු කරන ආණ්ඩුවේ දේශපාලකයන් පිරිසකගේ අවධානයට ලක්ව ඇත. ශිෂ්‍ය සටන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය කටයුතුවලට ඍජුව හරස්වන බැවින් මේ සම්බන්ධව කටයුතු කරන්නට නීතිඥයන් හා දේශපාලකයන් කැදවූ සාකච්ඡාවකදී ඔවුන් මේ අදහස අවධානයට ගෙන ඇත. මෙම සාකච්ඡාවේදී දැනට ශිෂ්‍ය ව්‍යාපාරය සම්බන්ධ ගෙන ඇති පියවර නිසා ආණ්ඩුව අනවශ්‍ය ලෙස දේශපාලන ගැටලුවකට මුහුණ දී ඇති බවටද එක්තරා ප්‍රකට නීතිඥයකු විසින් පෙන්වා දී ඇත. ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්‍රය අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බවට ජාත්‍යන්තර අවධානයක් යොමුව තිබෙන නිසා එම ක්‍රියාමාර්ගය එතරම් දේශපාලන වශයෙන් ඵලදායක නොමැති බවටද එකී සාකච්ඡාවේදී නීතිඥවරයා මතුකළ කාරණා අවධානයට ලක්ව තිබේ.
කෙසේවෙතත්, ආණ්ඩුවේ නීති අංශ හරහා මෙම ශිෂ්‍ය ගැටලු විසදාගැනීමේ වැඩපිළිවෙළකට සූදානම් වියයුතු බව එහිදී එක්තරා ඇමතිවරයකු අවධාරනය කර තිබේ. තරුණ අවධියේ ශිෂ්‍ය දේශපාලනයේ අත්දැකීම් ඇති ඔහු මෙම කාරණය තම විෂයට අයත් නොවූවද සිය පෞද්ගලික අවධානය පවා යොදමින් ආණ්ඩුවේ ගැටලුව විසදන්නට උත්සාහ කරන බව එහිදී පවසා ඇත. මේ අතර, අත්අඩංගුවේ සිටින ශිෂ්‍ය නායකයන්ගේ පසුගිය කටයුතු හා ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු විධිමත්ව එක් රැස්කර මෙම නව චෝදනා ගොනුකරන්නට අදහස් කරගෙන සිටින බව එක්තරා ඇමතිවරයෙක් සිය සමීපතමයකු සමග පුරසාරමක් ලෙසද පවසා තිබේ. ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය 70 දසකයේ සිට දිගින් දිගටම වාමාංශික දේශපාලන පක්ෂ අත තිබීමේ තත්වය තවදුරටත් ආණ්ඩුවට මෙන්ම විපක්ෂයේ පක්ෂවලටත් අවාසිදායක බැවින් වෙනත් දේශපාලන පක්ෂවල සහයෝගයද මෙම වැඩපිළිවෙළට ලැබෙන බවට එහිදී ඇමතිවරයා විශ්වාසය පළ කර ඇත.