විනිශ්චයන් දෙන, ඇප කොන්දේසි ලබා දෙන අධිකරණයත් ජනතාවගේ විනිශ්චයට ලක්වන බව අමතක නොකළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. අත්අඩංගුවේ පසුවන ශිෂ්‍ය නායකයන්ට ඇප දෙන්නට නිතිමය පසුබිමක් තිබියදී විරෝධතාවක් නිසා ඇප නොදෙන බව ඊයේ (26) කොළඹ අධිකරණයේදී ප‍්‍රකාශ කිරිම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සදහා උද්ඝෝෂකයෝ‘ විසින් කැදවූ මාධ්‍ය හමුවකදී මේ අදහස පළ කළේ පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසිනි.
ඔහු ඒ පිළිබඳ පළ කළ අදහස කෙටියෙන් මෙසේය.
”මේ වනවිට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හාමුදුරුවෝ අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබෙනවා. ඔවුන්ට එරෙහි චෝදනා විදියට තියෙන්නෙ උද්ඝෝෂනවල නියැලීම හා කලින් දීපු ඇප කොන්දේසි කඩ කිරීම කියන කරුණු. ඒ වගේම අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් සහෝදරයා මාස දෙකක කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ ඉදලා ඇප ලබා දෙද්දි කොන්දේසියක් විදියට දාලා තියෙනවා උද්ඝෝෂනවලට සම්බන්ධ නොවියයුතුයි කියන කාරණය. ඔහුට දැනුම් දී තියෙන ආකාරයට උද්ඝෝෂණයක යෙදී සිටි බවට ඡුායාරූප සාක්ෂියක් තිබීමෙන් පවා ඔහු නැවත අත්අඩංගුවට ගන්න බව.
ඒ වගේම ඊයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සහ අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරුවන් දෙදෙනාව අධිකරණයට ගෙන එද්දි නීතිමය වශයෙන් ගත්තම ඔවුන්ට ඇප දිය හැකි තත්වයක් තිබුණා. ඔවුන්ට විරුද්ධව ගොනුකරපු චෝදනා, ඒ සම්බන්ධ සාක්ෂි යන සියල්ලම ගත්තම ඔවුන්ට ඇප දිය හැකියි. නමුත් ඔවුන්ට ඇප ලබා දුන්නෙ නෑ. ඇප ලබා නොදීම සම්බන්ධයෙන් අදාළ විනිසුරුවරිය විසින් ප‍්‍රකාශ කළේ අධිකරණය ඉදිරිපිට සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ බලවේග විසින් නිහඩ විරෝධතාවයක් දක්වපු නිසා ඒක අධිකරණයට කළ බලපෑමක් ලෙස සලකමින් ඇප ලබා දෙන්නෙ නෑ කියලා. ඒක රටේ නීතියටත් පටහැනියි.
විරෝධය දැක්වීමේ සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය දැනට පවතින නීතියේ තහවුරු කරලා තියෙන්නෙ. යම් අත්අඩංගුවට ගැනීමකදි ඇප ලබා දීම හෝ නොදීම තීරණය වෙන්නෙ ඒ අවස්ථාවෙදි අධිකරණ භූමිය තුළ සිදුවුණේ මොකක්ද ඒ සම්බන්ධයෙන් විනිසුරුවරු හෝ අනෙකුත් නිලධාරින් දරණ මතය කුමක්ද ඒ පිළිබද ඔවුන් ගැන විරෝධයක් පානවද නැත්නම් කෝප වෙලාද වගේ කරුනු මත පදනම් වෙලා නෙවෙයි ඇප ලබා දෙන්නෙ. අධිකරන ක‍්‍රමයක් නම් ක‍්‍රියාත්මක වෙන්නෙ ඇප ලබා දෙන්නෙ මොනවටද ඇප නොදෙන්නෙ මොනවටද කියන කාරණා නීතියෙ සඳහන් වෙනවා. මේ සිදුවීමෙදි කියැවෙන්නෙ අධිකරණය ඉදිරිපිට විරෝධතා දක්වනවා නම් ඇප දෙන්නෙ නෑ කියන එකයි. ඊයෙ එම අධිකරණය ඉදිරිපිට පැවතුනේ නිහඩ විරෝධතාවක්. පුවරු තබාගෙන නිහඩ විරෝධයක් දක්වනු ලැබුවෙ. එවැනි උද්ඝෝෂනයක් කිරීමට අයිතිය, නීතියෙන් තහවුරු කරලා තියෙන්නෙ. නීතියට පිටින් ගිහිල්ලා කරන මර්දනයට අමතරව නීතිය පාවිච්චි කරලා කරන මර්දනයයි දැන් මේ විදියට නීතියට පිටින් තියෙන කරුණු පාවිච්චි කරමින් කරන මර්දනයයි සිදුකරමින් ඉන්නවා. පසුගිය 10 වැනිදා තිබුනු උද්ඝෝෂනයට පොලිස් පහරදීම සිදුවුනේ පොලිසියට බලය ලබා තියෙන ආකාරයට නෙවෙයි. කදුලූ ගෑස් එල්ල කරද්දි අංශක 45ට විදින්න, පහරදීම කරන්න පුලූවන් බැටන් පොලූවලින් මිස යකඩ පොලූවලින් ගහන්න බෑ කියලා ඒ නීති මොකුත්ම නොසළකා පහරදීම කළා. අත්අඩංගුවට ගත්තට පස්සෙ ඇප ලබාදීමට අදාළවත් අධිකරණය විසින් පවතින නීති නොසළකා හැගීම් මත පදනම් වෙමින් කටයුතු කරන්නෙ.
අපි දකින විදියට නීතිය, අධිකරණය පොලිසිය හමුදාව වගේ දේවල් මර්දන උපකරණ ඒ වගේම ආගමික ප‍්‍රභූ තන්ත‍්‍රය, මාධ්‍ය සහ පාලකයන්ගෙ දෘෂ්ටිවාද, සදාචාරයන් යන මේ සියල්ලගෙන් සමන්විත රාජය දෘෂ්ටිවාදී උපකරණ යන මේ සමස්තයම සහිත පරන ලෝකයම දැන් යල් පැන ගිහින්. සමාජය ඒ යල්පැන ගිය ලෝකයට එරෙහිව නැගිටිමින් තිබෙනවා. පාර්ලිමේන්තුව ගත්තම අපේ රටේ කිසි කෙනෙක් විශ්වාස කරන්නෙ නෑ ජනතාවගෙ මතය නියෝජනය වන ආයතනයක් හැටියට. පොත්වල මොනවා ලියලා තිබුණත් පාර්ලිමේන්තුව. පළාත් සභාව, පලාත්පාලන ආයතන වලේ ඒවා සැබෑවට ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන ආයතන ලෙස කවුරුත් විශ්වාස කරන්නෙ නෑ. ලංකාවෙ සිහි බුද්ධිය තියෙන කිසි කෙනෙක් විශ්වාස කරන්නෙ නෑ පොලිසිය කියන්නෙ නීතිය හා සාමය පවත්වාගෙන යන මහජන සේවා ආයතනයක් කියලා. ඉතා පැහැදිලිව පොලිසිය ඔප්පු කරලා තියෙනවා ඒක පාලක පන්තියේ විතරක් නෙවෙයි, ඒ මොහොතෙ බලයට පත්ව සිටින ආණ්ඩුවේ මර්දන උපකරණයක් දේශපාලන විරුද්දවාදින්ට එරෙහිව පාවිච්චි කරනු ලබන දෙයක් කියලා. මාධයවලත් අපක්ෂපාති විදියට වාර්තා කරන බවක් දැන් කවුරුවත් විශ්වාස කරන්නෙ නෑ. කවුරුත් දන්නවා එක් එක් මාධයයට අදාල දේශපාලන ව්‍යාපෘති තියෙනවා කියලා. ඒ ව්‍යාපෘතියට අනුව කපලා තමයි සත්‍ය කියලා ඉදිරිපත් කරන්නෙ. නීතිය ඉදිරියේ සියල්ලෝම සමානයි කියලා එක්දාස් හයසිය ගණන්වල ජෝන් ලොක්ලා තෝමස් හොබ්ස්ලා කියපු දේවල් තවදුරටත් වලංගු නෑ. දෛනිකව හැම සිදුවීමකින්ම සනාථ වෙනවා නීතිය හැමටම සමාන නෑ කියලා.
රුපියල් කෝටි ගණන් බැඳුම්කරවලින් වංචාකරපු මිනිස්සුන්ට අවම අධිකරණ ක‍්‍රියාමාර්ගයක් නොගෙන තියෙද්දි අඹ ගෙඩි ටිකක් ගත්ත වැඩිහිටි කාන්තාවට විරුද්ධව නීතියෙ සියලූම වගන්ති ක‍්‍රියාත්මක වෙනවා. අත්අඩංගුවට ගත්තා, ඇප නොදී හිටියා, ඇප කොන්දේසි හැටියට දැවැන්ත කොන්දේසි දුන්නා. ඒ ඔක්කොම කලේ කෝටි ගනන් වංචා කල අය නිදහස් කරලානෙ. අධිකරණ නියෝග පිළිපැදීම එක එක්කෙනාට එක එක විධියට බලපාන්නෙ. දැන් ළහිරුලාට රයන්ලාට චෝදනා එල්ල කර තියෙනවා අධිකරන නියෝග පිළිපැද්දෙ නෑ කියලා. අපට අත්දැකීමක් තියෙනවා, 2015 නොවැම්බර් 13 වැනිදා යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝගයක් දුන්නා හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුයි කියලා. ඔහු අවුරුද්දකට ආසන්න කාලයක් පෙනී හිටියෙ නෑ. ඒ අයට පුලූවන් අධිකරණ නියෝග කඩකරලා තන් කැමති දවසක කැමති විදියට අධිකරණයට ඇවිත් ඕනම දෙයක් කියලා යන්න පුලූවන්. බැදුම්කර කොමිසම ඉදිරියට ඇවිත් මේ කොමිසම ඉදිරියේ අපි කතාකරන්නෙ නෑ කිව්වා. රවි කරුණානායක කිව්වා මට මතක නෑ, මම දන්නෙ නෑ කියලා. සාමාන්‍ය වරදකට සැක මිනිහෙක් මතක නෑ දන්නෙ නෑ කිව්වොත් පොලිසියෙන් එල්ලලා ගහන්නෙ. ඒ නිසා මේ නීතිය ඉදිරියෙ සමානයි කියලා කවුරුත් විශ්වාස කරන්නෙ නෑ. මේවා එක පන්තියක උවමනාව වෙනුවෙන් පාවිච්චි කරන උපකරණ බව කවුරුත් දන්නවා. නමුත් ඒ අයම මර්දනයට පනවපු නීතියෙන් තියෙන ඒ අයම දුන් සහනවත් පීඩිතයන්ට දෙන්නෙ නෑ. උද්ඝෝෂණය නිසා හිත රිදුනා කියලා ඇප නොදී ඉන්න බෑ. උද්ඝෝෂණය කිරීමේ අයිතිය කියන එක කාටවත් උදුරාගන්න බෑ.
අනෙක් කාරණය මේ අධිකරණ නඩත්තු වෙන්නෙ කොොහමද? මේවට මුදල් ලැබෙන්නෙ කොහොමද? වෙළෙඳ කලාපෙ වැඩ කරන තරුණියෝ දවසම වැඩ කරලා රූට පාන් කෑල්කැයි පරිප්පුයි කන කොට ප්ලේන්ටියක් බොන කොට ඒ පරිප්පු, සීනි, පාන් පිටි යන මේ සේරගනේම අය කරන බදු රුපියල්වලින්, ඒ වේ මිලියන 20ක් ජනතාව තමන් කන බොන දේවල් ගනිද්දි ගෙවනබදු මුදල්වලින් තමයි එය අධිකරන වගේ දේවල් නඩත්තු වෙන්නෙ. අධිකරණයෙ විනිසුරුවරුන්ට සහ අනෙකුත් නිලධාරින්ට පඩි ගෙවන්නෙ ඒකෙන්. අපේ රටේ ජනතාව ගෙවන බදුවලින් ඒක වෙන්නෙ. අර විහ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට ඇප නොදී තියෙන්නෙ නිදහස් අධයාපනය වෙනුවෙන් අරගල කළ නිසා. ඇප කොන්දේසි දාන්නෙත් මින් පස්සෙ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් උද්ඝෝෂනය කරන්න එපා කියලා. හැබැයි ඒ ශිෂ්‍යයන්ගෙ මවුපියෝ ගොවිැන් කරලා, වතුවල, කර්මාන්ත ශාලාවල වැඩ කරලා හොයන සොච්චමෙන් අර වක‍්‍ර බදු කියලා වැට් එන්.බී.ටි. කියලා අයකරන එකෙන් තමයි ඔය ආයතන නඩත්තු කරන්නෙ.
ඒ නිසා දැන් නිතියේ ආධිපත්‍ය ගැන කතාකරපු ගොඩක් කට්ටිය හිටියා. කවුරුහරි හිතනවා නම් නීතියේ ආධිපත්‍ය කියන්නෙ මැතිවරණ සටන් පාඨයක් විතරයි මර්දනය කරන්න ඕන වුණාම නීතිය තිබ්බත් එකයි නැතත් එකයි කියලා නම් හිතාගෙන ඉන්නෙ අපිට එක දෙයයි කියන්න තියෙන්නෙ. සාමාන්‍යයෙන් අධිකරණය විසින් සමාජය විනිශ්චය කරන බවයි. නමුත් සමාජය විසිනුත් අදිකරණය විනිශ්චය කරන බව මතක තබා ගත යුතුයි. ඔය දෙන අධිකරන තීන්දු, ඇප කොන්දේසි කියන හැම දෙයක්ම ඒ අයගෙ විනිහ්චයට හසු වෙනවා. ඔය හිරේ දාන තරුණයෝ, ඒ අයගෙ මවුපියෝ ඒ පහළ පාන්තිකයෝ ඒ තීරණ විනිශ්චය කරනවා. ඉතිහාසය තුල මේ පරණ ලෝකය බිඳ වැටිලා අලූත් ලෝකයක් හැදෙද්දි ඔය තීන්දු දෙන විනිසුරුවරු, අධිකරනයේ නිලධාරින් කියන ඔය හැම දෙනාම තීරනය කරන්න ඕන එහෙම වෙද්දි ඉතිහාසයේ කුණු බක්කියට වැටෙනවාද එහෙම නැත්නම් ගෞරවණීය තැනක් ඉතිරි කරගන්නවද කියන එකයි. දැන් මේ තීන්දුවලට යටත් කරන තරුනයෝ ඒ තීන්දු ගැන මොනවා හිතනවා ඇද්ද? ඒ තීන්දු සහ ඒ අධිකරණය විහිලූවක් බවට පත් වුණොත් ඒක ඒ පද්ධතියටම වගකියන්න වෙනවා. අපි වාමාංශිකයන් විධියට කියන්නෙ මෙවැනි මර්දනකාරි සිදුවිම් සම්බන්ධයෙන් මේ තීරණ සම්බන්දයෙන් සම්පූර්ණ අදහසක් ජනතාවට කියාදීමට සහ මහජනයාට අධ්‍යාපනයක් දෙන්න අපි මැදිහත් වෙනවා. මේ ඇප කොන්දේසි සිදුවීමත් මහජනයාට අධ්‍යාපනය ලබාදීමය අවස්ථාවක් ලෙස අපි හිතනවා. ඒ වගේම උද්ගෝෂනය කිරීමට දැනට තහවුරු කර තිබෙන අයිතින් උදුරාගන් මොනම විදියකින්වත් ඉඩ දෙන්නෙ නෑ කියලා අවධාරණය කරනවා. ශිෂ්‍යයන්ගෙ විතරක් නෙවෙයි වෙන ඕනෑම පීඩිතයකුගේ අයිතිය වෙනුවෙන් අපි වාමාංශිකයන් ලෙස ඉදිරිපත් වෙනවා.”
මෙම ජනමාධ්‍ය හමුවට එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක, ප්‍රෑක්සිස් සාමූහිකයේ විදර්ශන කන්නන්ගර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ඉසුරු සම්පත් යන අය සහභාගි වූහ.
Save