Posted on 04.28.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාලව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්ෂයේ පත්කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරින් ප්‍රනාන්දු ඊයේ (27 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහණ පේ‍්‍රමරත්න, පොලිස්පති චන්දන වික්‍රමරත්න, මහජන ආරක්ෂක විෂය භාර අමාත්‍ය සරත් වීරසේකර යන අය හා නීතිපතිවරයා නම් කොට තිබිණි.
රෝගී තත්ත්වයක් නිසා පසුගිය 22 වැනිදා රෝහල්ගතවූ පසු තමා හමුවට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා 23 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස දන්වා සිතාසි භාරදුන් බවත් පෙත්සම්කරු අධිකරණයට පෙන්වාදී තිබිණි.
පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව හමුවේදී මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේදී ද අවස්ථා කිහිපයකදී ප්‍රකාශ ලබාදී තිබියදීත් නැවත නැවතත් තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනුයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමාව අත්අඩංගුවට ගෙන සිය දේශපාලන කි‍්‍රයාකාරකම් විනාශ කරලීමේ අරමුණ පෙරදැරිව බවට තමාට සාධාරණ සැකයක් පවතින්නේ යැයි ද හරින් ප්‍රනාන්දු සිය පෙත්සමෙන් අධිකරණයට පෙන්වාදී තිබිණි.