Posted on 11.24.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ත්‍රිකුණාමලය කින්නියා කුරුඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරළීමෙන් සිදු වූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් නියෝග කර තිබේ.
පළාත් පාලන කොමසාරිස් එන්.මනිවන්නන් එම නියෝගය ලබා දී ඇති බව සඳහන් වේ.
ඉතා කඩිනමින් එම සිදුවීමට අදාළ පරීක්ෂණය පවත්වා අදාළ පාලම් පාරුව ක්‍රියාත්මක කිරීමට අවසර දීම සහ නඩත්තු කටයුතු සිදුකළේ, කවුරුන්දැයි ඇතුළු කරුණු කාරණා ගැන තමාව දැනුවත් කරන ලෙසද ආණ්ඩුකාරවරිය පවසා ඇත.
එම පරීක්ෂණය පැවැත්වීම සඳහා පළාත් මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් අයි.කේ.ජී.මුතුබණ්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කර තිබේ.
ඊට අමතරව විශේෂ පොලිස් පරීක්ෂණයක්ද සිදුකරන ලෙස ආණ්ඩුකාරවරිය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි පැවසේ.
කින්නියා කුරුඤ්ඤන්කේනි පාලම අලුත්වැඩියා කරමින් පැවතීම නිසා මෙම පාලම් පාරුව ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති බව වාර්තා විය. පාලම් පාරුව ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදීමේදී එය මිනිසුන් ප්‍රවාහනයට සුදුසු ද නැද්ද යන්න පරික්ෂා කිරීමට තිබූ දෙයකි.
මෙම අනතුර හේතුවෙන් කුඩා ළමුන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විසිදෙනෙකු පමණ රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.