Posted on 10.01.2021 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
(TopNews) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් 8 දෙනෙකු විසින් රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේට එරෙහිව මූලික අයිතිවාසිකම් කඩකිරීමේ චෝදනා ඉදිරිපත්කර ඇත.
පූබාලසිංහම් සූරියපාලන්, මදියරාසන් සුලක්ෂන්, ගනේෂන් දර්ෂන්, කන්දප්පු කජේන්ද්‍රන්, රාසතුරෙයි තිරුවරුල්, ගනේෂමූර්ති සිදර්ෂාන්, මේයමුත්තු සුදාහරන් සහ ටී. කන්දරූබන් යන සිරකරුවන් වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් සහ නීතිඥ කේසන්වන් සජන්තන් විසින් මෙම මූළික අයිතිවාසිකම් අයදුම්පත (SCFR 297/2021) ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලදී.
පෙත්සමේ වගඋත්තරකරුවන් වන්නේ හිටපු බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත, බන්ධනාගාර අධිකාරී එම්.එච්.ආර්. අජිත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එන්. උපුල්දෙණිය, අධිකරණ ඇමති අලි සබ්රි සහ නීතිපති සංජය රාජරත්නම්ය. පෙත්සම්කාර සිරකරුවන් ඇතුළු රැඳවියන් 9 දෙනකු වවුනියාවේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා කරනු ලැබ රඳවා සිටින්නේ අනුරාධපුර බන්ධනාගාරයේය. මෙම රැඳවියන්ට අමතරව සිරදඬුවම් නියමවූවකුද සිටින අතර අනෙකුත් රැඳවියන්ට මහාධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බව පෙත්සමෙහි සඳහන් කර තිබේ.
සැප්තැම්බර් 12 වෙනිදා සවස 6.05 ට පමණ පළමු වගඋත්තරකරු රත්වත්තේ, ඔහුගේ ලේකම්වරයා ලෙස පෙනී සිටි තවත් පුද්ගලයෙක්, ඔහුගේ ආරක්ෂකයකු වැනි පෙනුමක් ඇති අය සහ සමහර බන්ධනාගාර නියාමකයන් පැමිණ මෙම රැඳවියන් දස දෙනාට බන්ධනාගාර මිදුල කරා එළියට එන ලෙස දැනුම් දුන්හ. පසුව, රත්වත්තේ විසින් රැඳවියන්ට අර්ධ කවයක් ලෙස සිටගෙන සිටින ලෙසත් ඔහු ඉදිරියේ දණින් වැටෙන ලෙසත් නියෝග කළ බව පෙත්සමේ සඳහන්ය.
සිරකරුවන්ට බැණ වැදීම ආරම්භ කරමින් රත්වත්තේ විසින් සිංහල බසින් පවසා තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ඇති සිරකරුවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තමාට සියලු බලතල ලබා දුන් බවත්, ඔවුන්ව නිදහස් කිරීමට හෝ වෙඩි තබා මරා දැමීමට ඔහුට හැකි බවත්ය.
බීමතින් සිටි බවත් පෙනෙන්නට තිබූ ඔහුගේ අතේ පිස්තෝලයක් තිබූ බවත් පෙත්සමේ සඳහන් වේ. එක් එක් රැඳවියන් විසින් කළ අපරාධ මොනවාදැයි ප්‍රකාශ කරන ලෙස ඔහු නියෝග කර ඇත. එහිදී එක් සිරකරුවෙක් තමාට සිංහල නොතේරෙන බව පැවසූ අතර පළමු වගඋත්තරකරු එහිදී පළමු පෙත්සම්කරුට දෝෂාරෝපණය කිරීමට පටන් ගෙන ඇත.
දෝෂාරෝපණය මඳවෙලාවක් සිදුකළ පළමු වගඋත්තරකාර රත්වත්තේ විසින් පළමු සහ දෙවන පෙත්සම්කරුවන් හැර සෙස්සන්ට පිටව යන ලෙස දන්වා ඇත. ඉන්පසූව රත්වත්තේ සිය පිස්තෝලය වෙඩිතැබීමට සූදානම් කර පෙත්සම්කරුගේ හිසට එල්ලකර ඔහු වෙඩි තබා මරා දමන බවට තර්ජනය කළ බවද පෙත්සමේ සඳහන්ය.
පෙත්සම්කරුවන් කියා සිටියේ මෙම සිදුවීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 සහ 12 (1) සහ 12 (2) වගන්ති මඟින් සහතික කර ඇති තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් තමන් නිදහස් කිරීමේ නියෝග ඇතුළුව කඩ වූ අයිතිවාසිකම් වෙනුවෙන් සුදුසු වන්දි ලබා දිය යුතු බවත්ය. එසේම සිරකරුවන්ට චෝදනා ගොනුකර ඇති උතුරු පළාතේ අධිකරණවලට සමීප බන්ධනාගාරයකට මාරු කරන අතුරු නියෝගයක් ද ඔවුන් ඉල්ලා තිබේ.