Posted on 09.22.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල ප්රචණ්ඩ ලෙස හැසිරීමත් ඒ සම්බන්ධ වගකිව යුතු බන්ධනාගාර නිලධාරීන් කිසිවක් නොකර සිටීමත් සම්බන්ධ විමර්ශන පක්ෂග්රාහී ලෙස ඉදිරියට ගෙන යාමේ සැලැස්මක් සම්බන්ධ පාර්ශ්ව ගණනාවක අවධානය යොමු වී ඇත.
ලොහාන් රත්වත්තේ විසින් සිදුකළ බව කියන අපරාධකාරී හැසිරීම සම්බන්ධ බන්ධනාගාර පාලනය භාරව සිටි නිලධාරින් කිසිවක් නොකිරීම මෙම සිදුවීමේදී අවධානයට ලක් විය යුතු කාරණයකි. සාමාන්‍යයෙන් බන්ධනාගාර සිවිල් පරිසරයෙන් වෙන්කර තබා ඇති නමුත් බන්ධනාගාර තුළ අවි ගත් රැකවලුන් විසින් පිටස්තර පුද්ගලයන්ට හෝ සිරකරුවන්ට නීති විරෝධී ලෙස හැසිරීමට බාධා පමුණුවයි. බන්ධනාගාර පාලනය වන්නේ එක් එක් බන්ධනාගාර පාලකයන්ගේ බලය යටතේ වන අතර නීතියට පිටින් සිදුවන දේ පාලනය කිරීමක් සිදු නොවන්නේ ඉහළ නිලධාරින්ගේ හෝ දේශපාලන නායකත්වයේ අනුදැනුම ඇතිවය.
බන්ධනාගාර ක්ෂේත්රයේ යුක්තිය අපේක්ෂා කරන නිලධාරින්ගේ අවධානය යොමුව ඇත්තේ වරදකාරී ඇමතිවරයා නීතිය හමුවේ ප්‍රශ්න කිරීමට ලක් කිරීමකට වඩා තම රැකියාව, වැටුප්, දීමනා සහ උසස්වීම් සම්බන්ධ අවධානයක් ඇතැම් නිලධාරින්ගේ න්‍යාය පත්‍රයට එක් වී ඇත. දේශපාලකයන් විසින් වැරදි කිරීමේදී සාක්ෂිකරුවන් වීම සම්බන්ධ ඔවුන් පෙන්වා දෙන ගැටලුවක් වන්නේ පළිගැනීම් හෝ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් කල්පනා කරමින් රජයේ සේවකයන්ට කටයුතු කිරීමට සිදුව තිබීමය. දේශපාලන බලයට යටවීම නිසා සිදුවීම් හමුවේ නිහඬව හිඳිමින් ඒවාට අනුබල දෙන පුද්ගලයන් විසින් විමර්ශන සිදුකිරීමේදී සාක්ෂි ලබා දෙන්නේද එම පීඩනය යටතේ නිසා මෙම සිදුවීමේ විමර්ශන හරහා කිසිවකු වරදකරුවන් නොවන ආකාරයට සාක්ෂි පෙළ ගස්වමින් සිදුවීම සම්බන්ධ පරික්ෂණ කල්යාමේ හා යට ගැසීමේ තත්වයක් කාලයාගේ ඇවෑමෙන් සිදුවන්නට නියමිත බව බන්ධනාගාර නිලධාරිහු පෙන්වා දෙති.