Posted on 09.15.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති ලොහාන් රත්වත්තේ බන්ධානාගර තුළ ප්රචන්ඩ ලෙස හැසිරීමේ වරද පිළිගෙන සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇත.
සැප්තැම්බර් 12 වැනිදා ඔහු සිය මිතුරන් සමග බීමත්ව හැසිරරීමේදී බන්ධනාගාර දෙකකදී ප්රචණ්ඩ ලෙස හැසිරීමේ හා ගිනි අවි පාවිච්චි කිරීමේ වරද මෙසේ පිළිගෙන ඇති අතර ජනාධිපතිවරයා ඔහුට දෝෂාරෝපණය කරමින් වහාම ඉල්ලා අස්වන ලෙස නියෝග කර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි. ඉතාලි සංචාරයේ යෙදී සිටින අගමැති මහින්ද රාජපක්ෂ මේ සම්බන්ධව ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවකින් පසුව ආණ්ඩුවේ අර්බුද මැදට මෙවැනි අපකීර්තිමත් සිදුවීමක් නිසා පුද්ගලයකු ආරක්ෂා කිරීම හානිකර බව නිගමනය කර ඇත.
ලොහාන් සැප්තැම්බර් 12වනදා සවස් කාලයේ කොට කලිසමකින් සැරසී අධික ලෙස බීමතින් පැමිණ ඇති ලොහාන් ගිනිඅවියක් ද අතැතිව බන්ධනාගාරයට ඇතුළු වී නිලධාරින්ගේ විරෝධය නොසළකා මරණ දඬුවම ලබා දෙන එල්ලුම් ගස නැරඹීමට මිතුරන් කිහිප දෙනකුට අවස්ථාව ලබා දී ඇත. පසුව එදින රාත්‍රියේ හෙලිකොප්ටරයකින් අනුරාධපුරයට පැමිණ අනුරාධපුර බන්ධනාගාරයට ද ගොස් තමිල් සිරකරුවන්ට ගිනි අවි පෙන්වා මරණ තර්ජන සිදුකර ඇති බව දැනගන්නට ඇත. මේ බව බව ඉලංකෙයි තමිල් කොංග්රස් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. ජී. පොන්නම්බලම් මාධ්‍ය වෙතකරුණු අනාවරණය කිරීමෙන් මෙම සිදුවීමට බන්ධනාගාර ඇමතිවරයා සම්බන්ධ බව සනාථ වී තිබේ.
තමිල් සිරකරුවන් රඳවා ඇති වාට්ටුව වෙත ගිය ඔහු එහි සිටින සැකකරුවන් 08දෙනා අතුරින් සැකකරුවන් දෙදෙනෙකු පිටතට ගෙන දණගස්වා ඔවුන්ගේ හිසට ගිනිඅවියක් තබා තර්ජනය කර ඇති බවත් වාර්තා විය.
ලොහාන් රත්වත්තේ මෙවැනි ආකාරයට මිනිසුන්ගේ ජීවිත අයිතිය හෝ බන්ධනාගාර පිළිවෙත් නොතකා කටයුතු කර තිබීම තුළ වඩාත් අවධානයට ලක්වන්නේ මහර බන්ධනාගාරයේ සිදුවූ සිරකරු ඝාතනයේ උණුසුම යන්නටත් පෙර ඔහු මෙම ඇමතිධුරයට පත් කරනු ලැබීමය. 2001 දෙසැම්බර් 05 දා පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී මහනුවර උඩතලවින්නේදී මුස්ලිම් ජාතික තරුණයන් 10 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියටද ලොහාන් රත්වත්තේ චෝදනා ලැබ තිබිණි. කෙසේ වෙතත් අදවන තුරු මෙම සමූහ ඝාතනයට වගකිවයුතු කිසිවකුත් අධිකරණය ඉදිරියේ වරදකරු වී නොමැත. එනම් ‘උඩතලවින්න සිද්ධිය‘ තවදුරටත් නොවිසඳුණු අපරාධයකි. ඇතැමුන් පවසන්නේ සාක්ෂිකරුවන් බියවැද්දීම වැනි බලපෑම් මත සාක්ෂි පරස්පරවීම සිදු වූ බවය. තවද ප්‍රභල දේශපාලන පවුලක නම් ගම් ඈඳුනු සිද්ධියක් වූ බැවින් අපරාධය යටපත්කිරීමට අදිසි හස්තයක් අධිකරණයට බලපෑම් කළා විය හැක. කෙසේ වෙතත් අද වන තුරු ඝාතනයට ලක් වූ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටුවී නොමැත.
කෙසේ වෙතත් ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වී ඇත්තේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත් ධුරයෙන් පමණක් වන අතර මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කරන බවද වාර්තාවේ.