Posted on 09.24.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ගුරු අරගලයේ යෙදී සිටීම නිසා තමන් වෙත සමාජ මාධ්‍ය ඔස්සේ මරණ තර්ජන එල්ල වන බව ලංකා ගුරු සංගමයේ නැගෙනහිර පළාත් සම්බන්ධිකාරක හා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පොන්නතුරෛ විජයරූපන් පවසයි.
ඔහු විසින් මේ සම්බන්ධව මඩකලපුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව, පිල්ලෙයාන් ගේ සේයාරුවක් සහිතව ‘ෆේස් බුක් ෆ්‍රෙන්ඩ්ස්’ නම් සමාජ මාධ්‍ය සමුහය විසින් ඔහු වෙත මෙම තර්ජනය එල්ල කර ඇත.
ලංකා ගුරු සංගමයේ නැගෙනහිර පළාත් නියෝජිතයා සැප්තැම්බර් 22 දා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ ඉන්දීය හමුදාව විසින් මඩකලපුව දිස්ත්‍රිකයේ දී මරා දැමුණු වෘත්තීය සමිති නායකයකුවන වන්නියසිංහම් සිහිපත් කරමින් තමන්ට එම ඉරණම අත් විය හැකි බවට තර්ජනය කර ඇති බව පොන්නතුරෛ විජයරූපන් පවසයි. අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති තමාගේ පෞද්ගලික ලිපි ගොනුවේ තිබෙන ඇතැම් ලියකියවිලි වල ඡායා පිටපත්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බවද ගුරු වෘත්තිය සමිති නියෝජිතයා අනාවරණය කළේය.
මේ අනුව ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක් වූ ‘තමිල් මක්කල් විඩුදලෛ පුලිහල්’ පක්ෂයේ නායක සිවනේෂන් චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ පක්ෂය මෙම තර්ජනයට සම්බන්ධ බවට සැකයක් ඇතැයි විජයරූපන් පවසයි.
මෙම තර්ජනය තමන් වෙත එල්ල වන්නේ මහජන ආරක්ෂාව බාර ඇමැති සරත් වීරසේකර විසින් ගුරු වර්ජනය ත්‍රස්තවාදී ක්‍රියාවකට සමාන කිරීමෙන් අනතුරුව බවද ඔහු පෙන්වා දෙයි.