Posted on 11.24.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2019 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,500ක ණය වාරිකයක් රජය විසින් ගෙවිය යුතුව ඇතැයි ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් පවසයි.
මෙම ණය වාරිකයෙන් ඩොලර් මිලියන 1000ක් 2019 ජනවාරියේ සහ ඉතිරි ඩොලර් මිලියන 500ක් 2019 අප්‍රේල් මාසයේ ගෙවීමට තිබෙන අතර ණය ගෙවීම සඳහා ඇති බැඳීම් 100% ඉටුකිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව ද මහාචාර්යවරයා කීවේය. ශ්‍රී ලංකාව සතුව මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 7.2ක සංචිතයක් ඇති බව කී මහාචාර්යවරයා ණය වාරික ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳ කිසිවෙකුත් චකිතයක් ඇතිකර ගත යුතු නැතැයි ද ප්‍රකාශ කළේය. හම්බන්තොට වරාය ගණුදෙනුවෙන් ඉතිරි වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 650ක මුදල මේ සඳහා යොදාගත හැකි බව කී මහාචාර්යවරයා ලංකා, මහජන සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවලින් අන්තර් ජාතිකව ඩොලර් මිලියන 1000ක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනයෙන් හා චීන සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 500ක් ලබාගැනීමෙන් මෙම ණය වාරිකය ගෙවීමට සැලසුම් කර තිබෙන බව ද සඳහන් කළේය.
2014 වසරෙන් පසු ගත වූ කාලයේදී ණය බර සියයට 50කින් වැඩිවීම, ගෙවුම් ශේෂයේ හිඟය ඉහළ යාම, අයවැය හිඟය වැඩිවීම ආදිය මෙම තත්ත්වයට බලපා ඇතැයි ද මහාචාර්ය ලලිත් සමරකෝන් පැවසුවේ නොවැම්බර් 22 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.