Posted on 08.17.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් සංවිධානය විසින් බලය අත්පත් කරගැනීමත් සමග ලංකා තානාපති කාර්යාලය වසා දමා එහි සිටි සියලු දෙනා පිටව ගොස් ඇති නමුත් එරට කාබුල් අගනගරයේ ලාංකිකයන් පිරිසක් අනාරක්ෂිත තත්වයක පසුවන බව විවිධ මූලාශ්‍රවලින් අනාවරණය වී ඇත.
සමාජ මාධ්‍ය හා විදේශ පුවත් හරහා ඇෆ්ගනිස්ථානයේ සිට ලැබෙන වාර්තා මගින් කියැවෙන්නේ තලේබාන් සන්නද්ධ භටයන් හිංසාකාරී කටයුතු නොකරන බවය. නමුත් අනාරක්ෂිත තත්වයක් නිසා එරට සියලුම විදේශ පුරවැසියන් පිටව යාමේදී රාජ්‍ය තාන්ත්‍රික රැකවරණ සපයා ඇත.
මේ වනවිට විදේශ අමාත්‍යංශය නිල වශයෙන් ප්‍රකාශකර ඇත්තේ එරට සිටින ලාංකිකයන් වෙනත් රටවල තානාපති කාර්යාල සහයෝගයෙන් මෙරටට කැඳවා ගැනීමට පියවර ගන්නා බවයි. ඒ අනුව විදේශ අමාත්‍යංශය පවසා තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධාන හා නේටෝ කඳවුරුවල සේවය කළවුන් සම්බන්ධ තොරතුරු තමන් වෙත ඇති බවයි. කෙසේවෙතත් මෙම පුද්ගලයන් ගෙන්වා ගන්නේ කුමන දිනකද යන්න හෝ කෙසේද යන්න පැහැදිලි නැත.
තලේබාන් සටන්කරුවන් පැමිණීමත් සමග කාබුල් අගනුවර ඇෆ්ඝන් වැසියන් ආරක්ෂාව පතා පළායාම පිණිස ගුවන් යානාවලට පොදි ගැසුණේ තමන් අමෙරිකානු හමුදා සමග සහයෝගයෙන් කටයුතු කිරීම නිසා අන්තවාදී භටයන්ගේ හිරිහැරයට ගොදුරු වෙතැයි හටගත් භීතියෙනි.
ඇෆ්ඝනිස්ථානයේ අනාරක්ෂිත තත්වය හමුවේ ඇතැම් විදේශ තානාපති කාර්යාල විසින් සිය පුරවැසියන්ට කාබුල් අගනුවර තානාපති කාර්යාල වෙත කැඳවා ඔවුන් රටින් පිට කිරීමේ කටයුතු සිදුකළ බවද දැනගන්නට ඇත. ලංකාවේ වැසියන් සම්බන්ධ එවැනි පියවර නොගැනීම නිසා එරට අනාරක්ෂිතව සිටින ලාංකිකයන් බලවත් අනපේක්ෂිත තත්වයට පත්ව ඇත. විශේෂයෙන් එක්සත් ජනපද හා නේටෝ යුද හවුලට අයත් කඳවුරුවල සේවය කළ ලාංකික සන්නද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් සිටි පිරිසක් අමෙරිකන් හමුදා යානා මගින් වෙත ගෙන ගොස් ඇත. නමුත් කාබුල් අගනුවර සේවයේ යෙදී සිටි ලාංකිකයන්ට එවැනි ආරක්ෂාවක් ලබා දීමට අසමත්වී ඇත.
ඇෆ්ගනිස්තානයේ තානාපතිවරයා ලෙස පත්කරනු ලැබ සිටියේ අද්මිරාල් පියල්ද සිල්වා බව අප කළ විමසීමකදී විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයකු පැවසීය. කෙසේවෙතත්, යුද ආතතිය හේතුවෙන් ඒ තානාපති කාර්යාලය වසා දමා තිබීම නිසා ලාංකිකයන්ට මුහුණ දෙන්නට සිදුව ඇති දුෂ්කරතා රැසක් සම්බන්ධ වාර්තා ලැබී ඇතැයි එම ප්රකාශකයාද ප්‍රකාශ කළේය.
කාබුල් නුවර සෙරීනා හෝටලයේ පිහිටුවා තිබුණු ලංකා තානාපති කාර්යාලය වසා දමනු ලැබ එහි ඇෆ්ඝන් සේවකයකු පමණක් රැඳී සිටින බව පසුගිය 16 වැනිදා දා හිටපු විදේශ ඇමති දිනේශ් ගුණවර්ධන ප්‍රකාශ කළේය. කාබුල් නගරය තලේබාන් හමුදාව යටතට පත්වීමත් සමග ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ලාංකිකයන් ඉක්මනින් ආරක්ෂිතව ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවය. මේ වන විට ඔහුගේ විදේශ ඇමති ධුරය හිමිව ඇත්තේ අධ්‍යාපන ඇමතිකම අහිමි වූ ජී.එල්.පීරිස්ටය.
