Posted on 09.09.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොරෝනා වසංගතය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයින් ආදාහනය පමණක් කළ යුතු බව දන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම නොවැම්බර් මස 26 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් සිව්දෙනෙකු සහ මුස්ලිම් ජාතිකයින් පිරිසක් විසින් මෙම පෙත්සම් 12 ක් ඉදිරිපත් කර තිබුණි. එහිදී
එම පෙත්සම් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ, මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් යන තනතුරු මේ වන විට වෙනස් වීම්වලට භාජනය වී ඇති නිසා ඊට අදාළ නව නිලධාරීන් නම් කර පෙත්සම් සංශෝධනය කිරීම සඳහා අවසර දෙන ලෙසයි.
එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පෙත්සම සලකා බැලීම නොවැම්බර් මස 26 වනදා දක්වා කල්තැබීමට තීන්දු කර තිබේ.
කෝවිඩ් වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඉකුත් අප්‍රේල් මස 11වැනිදා ගැසට් නිවේදනයට අනුව සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කළ යුතු වේ.
ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජාතිකයන් එම දහමට අනුව මිහිදන් කළ යුතු තත්ත්වයක් තුළ ඊට පටහැනි ව යමින් මියගිය මුස්ලිම් අයගේ සිරුරු ආදාහනය කිරීම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව මෙම පෙත්සම මඟින් පෙන්වා දී තිබුණි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව ද කොවිඩ් වෛරසයෙන් මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකිය.