Posted on 01.08.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුවේ කඩිකුලප්පු කාබනික පොහොර ප්‍රතිපත්තිය ගොවි විරෝධතා මැද පසුපසට ගෙන තිබියදී තමන් ගත් තීන්දුවේ අමනෝඥ බව පිළිගන්නවා වෙනුවට කාබනික පොහොර වලින් අස්වැන්න අඩු වෙන්නෙ නැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
පසුගිය වසරේ ජූනි මසදී හදිසියේම කෘෂි රසායන තහනමක් ප්‍රකාශයට පත් කරමින් මාස කිහිපයක් ගොවි ජනතාව මහත් දුෂ්කරතාවට ඇද දමා ඉදිරි කාලයේ රට ආහාර හිගයකට යා හැකි අවදානමක හෙළීම ගැන ආණ්ඩුව චෝදනාවට ලක්ව ඇත. විශේෂයෙන්ම මහා පරිමාණ ගොවිතැන සඳහා කෘෂි රසායන අත්‍යවශ්‍ය බව කෘෂිකර්ම ක්ෂේත්රය සම්බන්ධ මඳ අවබෝධයක් ඇති අයද පිළිගනී. ජනාධිපතිවරයා පවසන ආකාරයට කාබනික පොහොර පමණක් යොදාගෙන සාර්ථක කළ හැක්කේ ගෙවත්තක් වැනි කුඩා වගාවක් පමණක් බව කෘෂි නිලධාරින්ටද රහසක් නොවේ. කෙසේවෙතත් ජනාධිපතිවරයා තවමත් පවසන්නේ තමන් ගත් තීරණය නිවැරදි බවය.
ජනාධිපතිවරයාට මෙම ‘කාබනික වගාව සම්බන්ධ නිර්දේශ කළ විශේෂඥයන් පවසන්නේ කඩිමුඩියේ මෙවැනි සැලැස්මක් ක්‍රියාවට නැඟීම ඉදිරියේදී රටේ ආහාර අර්බුදයක් පවා ඇති කරවිය හැකි තත්වයක් බවය. මෙම වැරදි තීරණයේ වගඋත්තරකරුවා ලෙස ජනාධිපතිවරයා පවසන්නේ තමන් ගත් පියවර නිවැරදි බවත් නමුත් ගොවි ජනයා විරුද්ධ වන්නේ “අපේ කට්ටිය ගොවි ජනතාවට මේ කාරණය නිවැරදි ලෙස පැහැදිලි නොකළ නිසා” බවය. කෙසේවෙතත් මින් ඉදිරියට හමුදාව යොදවමින් ගොවියාට කාබනික පොහොර යොදවන ආකාරය පුහුණු කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසා ඇත.
පසුගියදා මොනරාගල ප්‍රදේශයේදී ගොවීන් හමුවී ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කර ඇත.