Posted on 10.23.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) ජනතාව තමන්ගෙන් අපේක්ෂා කරන්නේ සහල් මිල ගැන හෝ පරිප්පු මිල ගැන බැලීමට නම් එයින් කිසිදු පලක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ, කාබනික ගොවිතැන ඔස්සේ වගාව සාර්ථක කරගත් ගොවිපොළක් නිරීක්ෂණය කිරීම සඳහා අද (23) උඩුබද්දාව ප්‍රදේශයට ගිය අවස්ථාවේදීය.
කාබනික කෘෂිකර්මය වෙනුවෙන් තමන් ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මෙසේ මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.
“අපේ පහුගිය රජයවල් පවා මේක කරන්නට උත්සහය අරගෙන තියෙනවා. මේක අමාරු කාර්යයක්. අවුරුදු 30ක් විතර, මගේ පරම්පරාවේ අයනම් දැකලා තියෙනවා පාරම්පරික වගාවක් කරන හැටි. නමුත් අවාසනාවකට වගේ කිසිම නායකයෙක් මේ තීරණය ගත්තේ නෑ. මම විශ්වාස කරන්නේ මාව පත් කළේ නිකං පරිප්පුවල ගාන බලන්නයි හාල්වල ගාන බලන්නයි නම් මාව වැඩක් නෑ. නමුත් ඊට වඩා වෙනසක් මේ රටේ කරන්නට, විශේෂයෙන්ම මේ කෘෂි කර්මාන්තය ගැන. මම ආපු දවසේ ඉඳලා පොහොර නොමිලේ දුන්නා. නොමිලේ දුන්නේ ඇත්තටම ගොවියාගේ ජීවන තත්ත්වය වැඩි කරන්න. වී වල සහතික මිල අපි වැඩි කළා. “
කෙසේවෙතත් ජනාධිපතිවරයා කියන ආකාරයට කාබනික වගාවේ ප්‍රතිඵල ලැබීමට කාලයක් ගතවනු ඇත. නමුත් ජනාධිපතිවරයා විසින් සහල් මිල පාලනය කරන බවට ප්‍රකාශ නිකුත් කළ අතර ගැසට් ගණනාවක් ප්‍රකාශයට පත්කර සහල් මිල පාලනය නොවූ පසු ඒ ගැසට් අකුලා ගැනීම්ද සිදුකර ඇත. අවම තරමින් තමන් සහල් මිල පාලනය කිරීමට සමත් වූවා නම් ජනාධිපතිවරයා කාබනික වගාව වෙනුවෙන් ගන්නා උථ්සාහය ජනතාව විශ්වාස කරනු ඇත.