Posted on 01.02.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කෑගල්ලේ ධම්මික බණ්ඩාර නමැත්තා විසින් කොවිඩ් වෛරසය මර්දනය සඳහා යැයි නිෂ්පාදනය කළ පැණිය, කිසිදු ඖෂධීය වට්ටෝරුවකට අනුව සාදා නොමැති බවද එසේ වුවද එය ශරීරයට අහිතකර නැති බවද අනාවරණය වී ඇත.
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සාමාන්තර විද්‍යා පීඨයේ ආචාරධර්ම සමාලෝචන කමිටුව විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් අදාළ ද්‍රාවණය, සායනික පර්යේෂණයක් කිරීමට අවසර ලබාදීම පිළිබඳව කරුණු පැහැදිලි කර ඇත.
“ශ්‍රී වීරභද්‍ර ධම්ම ප්‍රතිශක්ති ජීව පානය” නමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් නිෂ්පාදන කළ පානය, රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සාමාන්තර විද්‍යා පීඨයේ ආචාරධර්ම සමාලෝචන කමිටුව විසින් කොඩිව් ආසාදිතයන් අතර සායනිකව පරීක්ෂා කිරීම සඳහා පමණක් කොන්දේසි සහිතව අනුමැතිය ලබා දී තිබේ. කොවිඩ් වෛරසය මර්දනය සඳහා දේශීය ඖෂධයක් ලෙස නොව, අහිතකර නොවන ආහාරමය පානයක් ලෙස එහි වරදක් නොමැති බව නිගමනය කර තිබේ.
මේ සම්බන්ධව ධම්මික පෙරේරා විසින් ආචාර ධර්ම කමිටුවට යොමු කළ මුල්ම අයදුම්පතේ අඩුපාඩු මත ප්‍රතික්ෂේප වුවද දෙවැනි වරට යොමු කළ අයදුම්පත අනුව, සිදුකළ විමර්ශනයකින් එම පැණිය ශරීරයට අහිතකර නොවන බව දක්වා ඇති නමුත් එය කිසිසේත්ම ඖෂධයක් ලෙස පිළිගැනීමක් හෝ කොවිඩ් – 19 රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස පිළිගැනීමක් නොවන බවද අවධාරණය කර ඇත.
මෙම පැණියේ අඩංගු ද්‍රාවණය, සායනික පරීක්ෂා කිරීමට ආචාරධර්ම සමාලෝචනය සඳහා යොමුකළ ඉල්ලුම්පත සලකා බැලීමට කමිටු සාමාජිකයින් 9 දෙනෙකුගෙන් සහ භාහිර විශේෂඥයන් දෙදෙනෙකුගෙන් සමන්විත අනු කමිටුවකක් මඟින් සිදුකරන ඇත. ඒ අනුව, යම් කොන්දේසි යටතේ රෝගීන්ට පානය පිණිස එම පැණිය ලබාදීමට අවසර දුන් නමුත් නිෂ්පාදනයේදී එම කොන්දේසි කඩ කෙරෙන්නේ නම් ඉදිරියේදී ආචාරධර්ම අනුමැතිය ඉවත්කර ගැනීමට කමිටුව හැකියාව ඇති බවද එම කමිටුව නිකුත් කළ නිර්දේශවල සඳහන් වේ.
එසේම මෙම පැනිය, ඖෂධ වට්ටෝරුවකට අනුව සැදුවක් බව ඇතැමුන් කළ ප්‍රකාශද අසත්‍ය බව අනාවරණය වී ඇත. මෙම පැණිය, ඖෂධයක් ලෙස දීර්ඝකාලීනව භාවිතාකර නොමැති අතර ආයුර්වේද හෝ වෙනත් පිළිගත් වෛද්‍ය ක්‍රමයකයට අයත් වට්ටෝරුවකට අනුව සෑදූවක්ද නොවන බවද ආචාරධර්ම කමිටුව පවසයි. එහෙත්, ආයුර්වේද දෙපාර්තමේන්තු ලබාදුන් ලියාපදිංචිය මත පදනම්ව මෙම පර්යේෂණ අයදුම්පත කමිටුව විසින් පිළිගෙන ඇත.
එම සංයෝගය සහ එහි අඩංගු ඖෂධීය අගය සම්බන්ධ නිගමනයකට පැමිණීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාවද පදනම් කර ගත් බව කමිටු නිර්දේශවල සඳහන් වේ.
මෙම පැණිය සාදාගැනීමට ධම්මික බන්ඩාර විසින් යොදාගත් අමුද්‍රව්‍ය දීර්ඝ කාලයක් මෙරට ජනසමාජය විසින් භාවිතකරන ආහාරමය ද්‍රව්‍ය වන නමුත් සංයෝගයක් ලෙස ක්‍රියාත්මක වීමේදී හා නිෂ්පාදනය වීමේදී හානිකර රාසායනිකයන් නිපදවීමේ විභවයද සැලකිල්ට ගෙන තිබේ.
තවද, කැලණිය විශ්වවිද්‍යාලීය රාසායන විද්‍යා දෙපාර්තමේන්තුව ලබාදුන් ‘රාසායනික ප්‍රතිඔක්සිකාරක පිළිබඳව වාර්තාව’ත් කාර්මික පර්යේෂණ ආයතනය ලබාදුන් හානිකර ද්‍රව්‍ය පිළිබඳ ප්‍රමාණික වාර්තාවත් පදනම් කරගෙන මෙම සංයෝගය ශරීරගතවීමෙන් හානිකර තත්වයක් ඇති නොවන බවට නිගමනය කළ බවද එම කමිටුව නිකුත් කළ වාර්තාවේ සඳහන්ය.