Posted on 12.24.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ධම්මික බණ්ඩාර විසින් නිපදවනු ලැබූ පැණියට ආයුර්වේද සූත්‍ර කමිටුව මගින් අනුමැතිය ලබාදී ඇත්තේ ඖෂධීය පානයක් ලෙස පමණක් බවත් එය කොවිඩ් රෝගීන් සඳහා ලබාදීමට අනුමැතිය ලබාදී නොමැති බවත් ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරණතුංග පවසයි. ලංකා වීව්ස් කළ විමසීමකදී ඔහු පැවසුවේ ධම්මික බණ්ඩාර කියන නිෂ්පාදකයාට මෙම පානය නිෂ්පාදනය කර ඇසුරුම් සකස් කර ආයුර්වේද මාධ්‍ය කමිටුව වෙත ඉදිරිපත් කළ හැකි බවයි.
එම මාධ්‍ය කමිටුව ඇසුරුම ගැන පරික්ෂා කිරමෙන් අනතුරුව මෙය ඖෂධීය පානයක් ලෙස වෙළඳ පොළට නිකුත් කළ හැකි බවද කොමසාරිවරයා පැවසීය. එසේම එය යම් පුද්ගලයෙකුට ලබාදීමේදී ධම්මික බණ්ඩාර කියන නිෂ්පාදකයාගේ උපදේශක වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ එය ලබාදිය යුතු බවද ඔහු පවසයි.
කොවිඩ් රෝගීන්ට ලබාදෙන්නේ නම් සායනික පරීක්ෂණ හරහා මෙය අනුමත විය යුතු බවත් එම කටයුත්ත සඳහා රජරට විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් පත්කළ කමිටුවක් සූදානම්ව සිටින බවද ආයුර්වේද කොමසාරිස් වැඩිදුරටත් පැවසීය.
මේ අතර ආයුර්වේද සුත්‍ර කමිටුව මගින් එය කොවිඩ් රෝගීන්ට ලබාදීමට අනුමැතිය ලබා නොදීම සම්බන්ධයෙන් ධම්මික බණ්ඩාර සිය විරෝධය පළකර ඇති බව වාර්තා වේ. අදාල සහතිකයේ කිසි තැනෙක කොවිඩ් වෛරසයට එරෙහිව නිෂ්පාදනය ඖෂධය ලෙස සටහන්ව නැති බවත් ඖෂධ නිෂ්පාදනාගාරයකට ලියාපදිංචිය ලෙස පමණක් සිදුව ඇති බවටත් කියමින් ඔහු තම විරෝධය පළකර තිබේ.
ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය ලත් ඖෂධ පමණක් නිෂ්පාදනය කල හැකි යයි එහි සටහන්ව ඇතැයිද ඔහු චෝදනා කළේය.