Posted on 12.22.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර විසින් නිෂ්පාදනය කළ පැණියට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලබාදී ඇති බව කැබිනට් ප්‍රකාශක, රමේෂ් පතිරණ පවසයි. ඔහු පවසා ඇත්තේ මෙම පැණිය ඉන්පසු ආචාරධර්ම කමිටුවකින් මෙය අනුමත කිරීමට අවශ්‍ය බවයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් විසින් එම පැණියට රජයේ අනුමැතියක් හිමිව තිබේ දැයි අසන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මේ බව පවසා තිබේ.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ ධම්මික පැණිය මේ වන විටත් දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ආහාර සංඝටකයක් ලෙස ලබාදීමට අනුමැතිය ලබා දී ඇති බවය.
එනිසා ස්වාධීන කැමැත්ත මත ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ,
“මේ සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකිරීමට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිස කටයුතු කරනවා. ඒ යටතේ දී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුව විසින් මෙම ඖෂධය අනුමත කරලා තියෙනවා. එම ඖෂධය සූත්‍ර කමිටුව විසින් අනුමත කිරීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය ආචාරධර්ම කමිටුවකින් මේක අනුමත කිරීමට අවශ්‍යයි. එම ආචාරධර්ම කමිටුවට මෙම පරීක්ෂණය පිළිබඳ තොරතුරු හෙට ඉදිරිපත් කරනවා.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආචාරධර්ම කමිටුවෙන් එම අනුමැතිය ලැබුණු පසුව මෙය විද්‍යාත්මක පරීක්ෂණයට භාජනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී අපි බලාපොරොත්තු වුණ විදියට බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා මෙය භාවිත කරනවා නම් එයට සාක්ෂි මත පදනම්ව මෙය ඖෂධය භාවිත කිරීමෙන් රෝගය නිශ්චිතව සුව වෙන බවට පරීක්ෂණයක් සිදුකළ යුතුයි. එය සිදුකිරීමට තමයි සුදානම් වන්නේ. එම පරීක්ෂණයට අවශ්‍ය මුලික අනුමැතිය ලබාගැනීම සිදුවෙනවා. එම පරීක්ෂණයෙන් පසුව අපිට නිශ්චිතව එය බටහිර වෛද්‍ය විද්‍යානූකූලව රෝගය නිශ්චිතව සුව කිරීමට සමත් ද කියන එක අපිට හෙළි කළ හැකියි.
එතකල් අපිට ඒ සම්බන්ධයෙන් බලා සිටීමට සිදුවෙනවා. ස්වාධීන කැමැත්තෙන් ඖෂධය ලබා ගන්නා අය වළක්වන්න බෑ. මොකද දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ඔවුන් එය ආහාර සංඝටකයක් ලෙස ඔවුන්ට අනුමැතිය ලබාදීලා තියෙනවා. එයට විරුද්ධ වීමට අපට හැකියාවක් නෑ”